• Points of Sustainable Development Goals

තිරසාර සංවර්ධන ඉලක්ක කෙරෙහි අපගේ නැඹුරුව

තිරසාර සංවර්ධනය උදෙසා ලොව පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන පසුබිමක් තුළ ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ තිරසාරත්ව ඉලක්ක ළඟා කරගැනීමේ අරමුණින්, එම ඉලක්ක ජාතික ප්‍රතිපත්ති වලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. මෙම ජාතික මට්ටමේ උත්සාහයන්ට දායක වීමට අමානා බැංකුවද ඉදිරිපත් වී සිටී.  

වත්කම් පදනම් කරගත් ගනුදෙනු සඳහා අරමුදල් රැස් කර ආයෝජනය කිරීම යන තර්කනය ඔස්සේ අමානා බැංකුවේ සුවිශේෂී බැංකුකරණ ආකෘතිය තුළ මූල්‍ය හා බැංකු කටයුතු වලදී තිරසාර බව තහවුරු කෙරේ. ආර්ථිකයට වඩාත් පුළුල් මට්ටමින් ප්‍රතිලාභ සැලසීම සඳහා හවුල්කාරිත්වය සහ ලාභ හා අලාභ බෙදා ගැනීම ප්‍රවර්ධනය කරන සාධාරණ හා ගිවිසුම්ගත විධිවිධාන තුළින් මෙය සිදුකරනු ලබන අතර, එම නිසාම මෙය තිරසාර මූල්‍ය සම්පාදන ක්‍රමවේදයක් ලෙස පිළිගැනීමට ලක්වී ඇත.  මෙම පදනම සමගින්, බැංකුවේ මෙහෙවර වන ‘වර්ධනයට අත්වැලක් වීම සහ ජීවිත පෝෂණය කිරීම’ ඔස්සේ වඩාත් පුළුල් තලයක් තුළ එක්සත් ජාතීන්ගේ තිරසාරත්ව ඉලක්ක ළඟා කරගැනීමට අමානා බැංකුව කටයුතු කරමින් සිටී. 

ඉලක්ක අංක 01: දරිද්‍රතාව පිටුදැකීම 

අපගේ සම්මාන දිනූ රන් සහතිකපත් මූල්‍ය සම්පාදන විසඳුම රටේ අඩු පහසුකම්ලාභී ජනතාවට ශක්තිමත් අත්වැලක් වෙමින්, මූල්‍ය දුෂ්කරතා සහිත පුද්ගලයන්ට මූල්‍ය පහසුකම් ළඟා කරදීම සඳහා විශාල මෙහෙවරක් ඉටුකරමින් සිටී. COVID-19 රෝග ව්‍යාප්තිය නිසා මූල්‍යමය අවිනිශ්චිතතාවන් බහුලව මතු වී ඇති මෙවැනි පසුබිමක, පුද්ගලයන් මෙන්ම ව්‍යාපාරද තම හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා ආමානා බැංකුවේ රන් සහතිකපත් මූල්‍ය විසඳුම වෙත යොමු වී තිබේ. මෙහිදී බැංකුව රන් වටිනාකමට සාපේක්ෂව ලබාදෙන මූල්‍ය පහසුකම් ප්‍රතිශතය වැඩි කිරීමට කටයුතු කළ අතර, ආපසු ගෙවීම් සඳහා සහන කාලයන්ද ලබාදෙන ලදි. මෙම විසඳුම මගින් බිම් මට්ටමේ ජනතාවට තම පෞද්ගලික අවශ්‍යතාවන් සඳහා මෙන්ම ක්ෂුද්‍ර ව්‍යාපාර වල අවශ්‍යතාවන් සඳහා මුදල් සපයා ගැනීමට අවස්ථාව ලැබෙන නිසා, මෙහි ජනප්‍රියත්වය ක්‍රමානුකූලව ඉහළ ගොස් ඇත. කාන්තාවන් වෙනුවෙන් වෙනම බැංකු සේවා ඒකකයක් ස්ථාපිත කිරීම ඔස්සේ ඔවුන්ගේ පෞද්ගලිකත්වය හා ආරක්ෂාව වඩාත් තහවුරු වී ඇති නිසා, මෙතෙක් මෙබඳු සේවාවක් ලබාගැනීමට නොහැකි වූ කාන්තාවන් සවිබල ගැන්වීමද සිදුවී තිබේ. 

ඉලක්ක අංක 4: ගුණාත්මක අධ්‍යාපනයක් 

තම ආයතනික සමාජ වගකීම් සහ පුණ්‍ය අරමුදල් කටයුතු ඔස්සේ සමාජයට යහපත සලසන වැඩසටහන් රාශියකට දායක වීමට අමතරව, අමානා බැංකුව සිය Knowledge Marketing වැඩසටහන ඔස්සේ, ඩිජිටල් තාක්ෂණය හරහා මූල්‍ය සාක්ෂරතාව නැංවීම කෙරෙහි විශේෂ අවධානයකින් යුතුව, ගුණාත්මක අධ්‍යාපනය සඳහා අත්වැලක් වීමට කටයුතු කර ඇත. අපගේ සුවිශේෂී බැංකුකරණ ආකෘතිය සම්බන්ධ අනවබෝධයන් දුරුකරමින්, ඉස්ලාමික බැංකු හා මූල්‍ය සම්ප්‍රදායේ සැබෑ හරය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දැනුවත් කිරීමට අපි පියවර ගෙන ඇත්තෙමු. මේ දක්වා අප ක්‍රියාත්මක කළ වැඩසටහන් වලින් ලද සාර්ථක ප්‍රතිඵල සමගින්, ඉදිරියේදී තව තවත් ගනුදෙනුකරුවන් අපගේ බැංකුකරණ මාදිලිය සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ලබාගනු ඇති බවත්, ඒ අනුව ඔවුන් වැඩි වැඩියෙන් අපගේ සේවාවන් භාවිතා කිරීමට පෙළඹෙනු ඇති බවත් අපගේ විශ්වාසයයි. 

ඉලක්ක අංක 05: ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව 

අද දවසේ සමාජය හැඩගැස්වීම සඳහා කාන්තාවෝ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරති. එවැනි පසුබිමක් තුළ කාන්තාවන්ට මූල්‍ය ස්වාධීනත්වය ළඟා කරගැනීමට අත්වැලක් වීම තුළින් ඔවුන් සවිබල ගැන්වීමටත්, කාන්තා ව්‍යවසායකත්වය දිරිමත් කිරීමටත් අමානා බැංකුව කටයුතු කරයි. මේ වනවිට කාන්තාවන් 146,000 කට අධික පිරිසක් අමානා බැංකුව සමග ගනුදෙනු කරන අතර රට පුරා කාන්තාවන්ට විශේෂ වූ බැංකුකරණ ඒකක 8 ක් පිහිටුවා ඇති නිසා ඔවුන්ට වඩාත් පහසුවෙන් හා සුරක්ෂිත ලෙස තම බැංකුකරණ අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව ලැබී තිබේ. මේ වනවිට කාන්තාවන් වෙනුවෙන් විශේෂයෙන් සැකසූ ඉතුරුම් ගිණුමක්, ජංගම ගිණුමක් සහ ඩෙබිට් කාඩ්පතක්ද හඳුන්වා දී ඇති අතර, එය සංඛ්‍යාත්මකව ක්‍රමයෙන් වැඩිවන, නව ව්‍යාපාර ආකෘතීන් අනුව කටයුතු කරන ව්‍යවසයිකාවන්ට සවිමත් අත්වැලක් වී ඇත. 

ඉලක්ක අංක 07: සහනදායී සහ පිරිසිදු බලශක්තිය 

අමානා බැංකුව සෑම විටම හරිත බලශක්ති භාවිතය දිරිගැන්වීමට උනන්දුවෙන් කටයුතු කර ඇති අතර, සූර්ය බලශක්තිය, ජල විදුලි බලය, සුළං විදුලි බලය සහ ජෛවස්කන්ධ බලශක්තිය සම්බන්ධ ව්‍යාපෘති සඳහා ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් සපයමින්, පොසිල ඉන්ධන මත රඳා පැවතීම අවම කිරීමට දායක වී තිබේ. මෙම වසර තුළ බැංකුව පුළුල් මට්ටමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති සඳහා මූල්‍ය පහසුකම් සැපයීම වැඩි කර ඇත. මීට කුඩා පරිමාණ ජල විදුලි බලාගාර සහ සූර්ය බලශක්ති නිෂ්පාදනාගාර ඇතුළත් වන අතර, මේ ඔස්සේ මෙගාවොට් පැය 15,500 ක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වීමත්, කාබන් ඩයොක්සයිඩ් ටොන් 12,000 ක් පරිසරයට මුදාහැරීමේ ඉඩකඩ වැළැක්වීමත් සිදුවී ඇත. පුද්ගල මට්ටමින් ගත්විට බැංකුව නිවෙස් වල හරිත බලශක්ති භාවිතය දිරිගැන්වීම සඳහා සහනදායී මූල්‍ය විසඳුම් පිරිනමයි. තවද අමානා බැංකුවේ ප්‍රධාන කාර්යාලය සඳහා සූර්ය බලශක්තිය භාවිතා කිරීම ආරම්භ කරන ලද අතර ඒ ඔස්සේ 2020 වසරේදී කිලෝවොට් පැය 93,425 ක බලශක්තියක් ජනනය කරන ලදි. 

ඉලක්ක අංක 10: අසමානතාවන් අවම කිරීම 

දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ ජීවිතයට ශක්තියක් පමණක් නොව, අනාගතයට තෝරාගැනීමක්ද ලබාදෙමින් අමානා බැංකුවේ OrphanCare වැඩසටහන එම දරුවන් වැඩිහිටි වියට පා තබන විට ඔවුන්ට අවශ්‍ය වන මූල්‍යමය අත්වැල ලබාදීමට කටයුතු කරමින් සිටී. අමානා බැංකුවේ ප්‍රධානතම ප්‍රජා සත්කාර වැඩසටහන වන මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු සහ මේ දක්වා එම වැඩසටහන අත්පත් කරගෙන ඇති ප්‍රගතිය ඊට අදාළ වෙබ් පිටුවෙහි (www.amanabank.lk/orphan-care) දක්වා ඇත. 

ඉලක්ක අංක 12: වගකීම්සහගත නිෂ්පාදනය සහ පරිභෝජනය 

ව්‍යාපාර සහ ඒවායෙහි මෙහෙයුම් කටයුතු සඳහා වගකීම්සහගත නිෂ්පාදන හා පරිභෝජන පරිචයන් භාවිතයට ගැනීම දිරිගැන්වීමට අමානා බැංකුව කටයුතු කරයි. වගකීම්සහගත නිෂ්පාදනය හා පරිභෝජනය ප්‍රචලිත කරන ගනුදෙනුකරුවන් වෙනුවෙන් තරගකාරී මූල්‍ය පහසුකම් සැපයීමට අමතරව බැංකුව සාමාන්‍ය බැංකුකරණ මාධ්‍යයන් වෙනුවට ඩිජිටල් ක්‍රමවේදයන් භාවිතා කිරීමට ගනුදෙනුකරුවන් දිරිගැන්වීමට කටයුතු කරමින් සිටී. SMS Alerts සේවාව, e-statements පහසුකම, වවුචර රහිත තැන්පතු, SMS මගින් රහස්‍ය අංක යැවීම, සහ බැංකුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ලබාදෙන ‘Message to Bank’ සේවාව යනාදිය කාලය, මුදල් සහ සම්පත් ඉතිරි කරන විසඳුම් වේ. එමෙන්ම තම රැකියා අංශ තුළ වගකීම්සහගත පරිභෝජන ක්‍රමවේදයන් භාවිතයට ගැනීමට තම කාර්ය මණ්ඩලය දිරිමත් කිරීමටද බැංකුව කටයුතු කර ඇති අතර, ඒ ඔස්සේ ‘අපතේ යෑම් අවම කිරීම, නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය’ ඉලක්ක කරගත් හරිත වැඩසටහන් හා විධිවිධාන රාශියක් එම අංශ තුළ ක්‍රියාවට නැංවී ඇත. 

ඉලක්ක අංක 14: සාගරය යට ජීවය 

මිනිසුන්ගේ හා පෘථිවියේ යහපැවැත්මට සාගර ජෛව විවිධත්වය අතිශයින් වැදගත් වේ. සාගර රක්ෂිත ප්‍රදේශයන් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමත්, මනා සම්පත් සම්පාදනයත් සිදුවිය යුතු අතර, පමණ ඉක්මවා ධීවර කර්මාන්තයේ යෙදීම, සාගර දූෂණය සහ සාගර ආම්ලිකකරණය අවම කිරීම සිදුකළ යුතු ය. මෙම ඉලක්කය සපුරාගැනීම සඳහා, සාගර සහ වෙරළාශ්‍රිත පරිසර පද්ධති රැකගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම පෙරළිකාරී තිරසාර ජලජීවී මත්ස්‍ය ගොවිපොළ ආරම්භ කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට බැංකුව කටයුතු කළේ ය. එමෙන්ම එදිනෙදා ප්ලාස්ටික් අපද්‍රව්‍ය තම ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිතා කිරීමට දේශීය කර්මාන්ත යොමු කරවීමට සහය වෙමින්, සාගරයට එක්වන ප්ලාස්ටික් ප්‍රමාණය අවම කිරීමටද බැංකුව පියවර ගනියි. 

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo