• CEO message

අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරිතුමාගේ පණිවිඩය

 CEO

අපගේ හිතවත් ගනුදෙනුකාර භවතුනි,

ඔබ සතුටින් හා නිරෝගී සුවයෙන් ඇතැයි සිතමි. 

අමානා බැංකුවට අතිශයින් වැදගත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරන මේ මොහොතේ අපි ශ්‍රී ලංකාවේ පොලී රහිත, සංවර්ධනය කේන්ද්‍ර කරගත්, මානුෂ හිතවාදී බැංකුකරණයේ 15 වන සංවත්සරය සමරන්නෙමු. මේ සුවිශේෂී අවස්ථාව, දශක එකහමාරක් පුරාවට අප කෙරෙහි විශ්වාසය රඳවමින් අපගේ ගමන්මඟේ කොටස්කරුවන් වීම වෙනුවෙන් පාරිභෝගික ඔබ සැමට මාගේ හෘදයාංගම ස්තුතිය මෙසේ පුද කරමි.

2011 අගෝස්තු 01 වැනිදා මෙහෙයුම් ආරම්භ කළ අවස්ථාවේ සිට, රටේ මෑත ඉතිහාසයේ ඇතිවුණු අභියෝගාත්මක කාලපරිච්ඡේද කිහිපයක් පසුකරමින් අමානා බැංකුව මේ වන විට කැපීපෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇත. ලක්ෂ 5 කට අධික ගනුදෙනුකරුවන් පිරිසකගේ නොසැලෙන විශ්වාසය, පිළිගැනීම හා සහයෝගය බැංකුවේ ගමනට සුවිශාල ශක්තියක් වී තිබේ. දුෂ්කර අවස්ථාවලදී පවා ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීම සහ ඔවුන් කෙරෙහි අවංක සැලකිල්ලක් දැක්වීම මෙම විශ්වාසයට ප්‍රධානතම හේතුවක් වී ඇති බවත්, එය අමානා බැංකුව ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන බැංකු අතරින් එකක් බවට පත් වීමට මූලික වී ඇති බවත්, මම විශ්වාස කරමි. මේ වන විට අපි රුපියල් බිලියන 200 කට අධික සමස්ත වත්කම් වටිනාකමක් සහිත, ශාඛා 33 ක් සහ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන 47 ක් ඇතුළුව පාරිභෝගික සේවා ස්ථාන 80 කට අධික සංඛ්‍යාවක් හිමි, රටේ ආර්ථික සංවර්ධනයට අර්ථවත් දායකත්වයක් ලබාදෙන ශක්තිමත් හා විශ්වාසනීය බැංකුවක් බවට පත් වී ඇත්තෙමු.

ජනතාවට වඩාත් පහසුවෙන් මූල්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව උදාකර දීම අපගේ මෙහෙවරෙහි අනිවාර්ය අංගයක් වන අතර, බැංකු සේවාව ප්‍රමාණවත්ව නොලබන ප්‍රජාවන් වෙත බැංකු සේවා සමීප කරවීම සඳහා අපි අඛණ්ඩව කටයුතු කරමින් සිටින්නෙමු. දිවයින පුරා මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් පැවැත්වීම මෙන්ම, රන් සහතිකපත් මූල්‍ය පහසුකම් සහ කුඩා වත්කම් සඳහා මූල්‍ය පහසුකම් වැනි මූල්‍ය සේවාවන් හරහා පුද්ගලයන්ට සහ පවුල්වලට විධිමත් මූල්‍ය පද්ධතියේ කොටස්කරුවන් වීමට අවස්ථාව සලසා දීමට අපි සෑමවිටම උත්සාහ කරන්නෙමු.

අපගේ සේවාවන් පුළුල් කිරීමත් සමඟ ඒවා මඟින් සමාජයට ඇති වන යහපත තවදුරටත් පුළුල් වෙමින් පවතින අතර, අප දිගින් දිගටම වාර්තා කරන විශිෂ්ට මූල්‍ය කාර්යසාධනය ඒ සඳහා ශක්තිමත් පදනමක් බවට පත් වී තිබේ. මෙම කාර්යසාධනය හේතුවෙන් අඛණ්ඩ ලාභදායීත්වයක් වාර්තා කරන අතරම කොටස් හිමියන්ට නිතිපතා ලාභාංශ ගෙවීමටද අපට හැකි වී ඇත.

ආරම්භයේ පටන් මේ දක්වාම අපගේ ප්‍රගතිය වෙනුවෙන් දේශීය හා ජාත්‍යන්තර සම්මාන හා ඇගයුම් අප වෙත හිමි වීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වන්නෙමු. අපගේ ආරම්භක අවධියේදී, ඇමරිකා එක්සත් ජනපදයේ Global Finance Magazine විසින් අප ‘විශිෂ්ටතම නැඟී එන ඉස්ලාමීය බැංකුව’ ලෙස නම් කිරීමෙහි සිට, මෑතකදී The Asian Banker විසින් ‘ලොව ශක්තිමත්ම ඉස්ලාමීය බැංකු 50’ අතරට අප නම්කිරීම දක්වාත්, Islamic Development Bank Group විසින් ගෝලීය වශයෙන් ආයෝජනය කර ඇති සමාගම් 30 කට අධික සංඛ්‍යාවක් අතරින් ‘ICD ආයෝජන හිමි සමාගම් අතර වඩාත්ම සාර්ථක සමාගම' ලෙස අප ඇගයීමට ලක්කිරීම දක්වාත් හිමි වූ සියලු සම්මාන හා ඇගයුම් අපගේ ගමන්මඟේ ප්‍රගතිය සනාථ කරයි.

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ අප අත්කර ගනිමින් සිටින ප්‍රගතිය පිළිබිඹු කරමින්, PwC විසින් විනිශ්චය කරන ලද ICC Emerging Asia Banking Awards හිදී අඛණ්ඩව දෙවන වරටත් ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව’ ලෙස අපි ඇගයීමට පාත්‍ර වීමු. ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකුකරණ හා මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ අපගේ පුරෝගාමී භූමිකාව සහ නායකත්වය තවදුරටත් තහවුරු කරමින්, Islamic Finance Forum South Asia (IFFSA) Awards යන සම්මාන උළෙලේදී ‘දශකයේ බැංකුව’ ලෙස නම්කරනු ලැබීම ඇතුළුව සම්මාන හා ඇගයුම් රැසක් අප වෙත හිමි විය. එමෙන්ම IFFSA Awards සහ Sri Lanka Islamic Banking and Finance Industry (SLIBFI) Awards යන සම්මාන උළෙල දෙකෙහිදීම ‘විශිෂ්ටතම බැංකුව’ (Best Bank), ‘විශිෂ්ටතම මූල්‍ය ආයතනය’ (Best Finance Entity) සහ ‘විශිෂ්ටතම මූල්‍ය ගනුදෙනු’ (Best Finance Deals) යන අංශ යටතේ අවස්ථා කිහිපයකදීම අප වෙත සම්මාන හිමි වී ඇත.

තවද, අපගේ මූල්‍ය ශක්තිය තහවුරු කරමින් Fitch Ratings Sri Lanka ආයතනය විසින් අමානා බැංකුවේ දීර්ඝකාලීන ජාතික ණය ශ්‍රේණිගත කිරීම ආයෝජන මට්ටමේ ශ්‍රේණියක් වන BBB-(lka) with a Stable Outlook මට්ටම දක්වා ඉහළ නංවා ඇති අතර, Lanka Rating Agency ආයතනය විසින් බැංකුව වෙත BBB+ ශ්‍රේණිය පිරිනමා තිබේ.

ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන් නිරන්තරයෙන් වෙනස් වන යුගයක, ඔවුන්ගේ පහසුව හා තෘප්තිය වෙනුවෙන් අපි අපගේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කර ඇත්තෙමු. අද වන විට අන්තර්ජාල බැංකුකරණය, අන්තර්ජාලය ඔස්සේ ගිණුම් විවෘත කිරීමේ පහසුකම, මාර්ගගත මූල්‍ය පහසුකම් සේවාව, WhatsApp Banking සේවාව, Amana Connect යෙදුම (App) සහ Digital Hub ඇතුළු ඩිජිටල් විසඳුම් රාශියක් අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් හඳුන්වා දී තිබේ. මෙබඳු හඳුන්වාදීම් ඔස්සේ අපගේ සේවාවන් ගනුදෙනුකරුවන් වෙත වඩාත් සමීප කරවමින් අපි අනාගතය උදෙසා ශක්තිමත් පදනමක් නිර්මාණය කරමින් සිටින්නෙමු. 

අපගේ සුවිශේෂී බැංකුකරණ ආකෘතිය, ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයේ ජීවනාලිය වන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ සුවිශාල පිළිගැනීමක් හිමිකරගෙන ඇත.  ව්‍යවසායකයන්, ව්‍යාපාර සහ ප්‍රජාවන් සවිබල ගැන්වීම හරහා ආර්ථික වර්ධනය, මූල්‍ය අන්තර්කරණය (Financial inclusion) සහ තිරසාර සංවර්ධනය උදෙසා අපි අඛණ්ඩව දායක වන්නෙමු. 

බැංකුකරණයට අමතරව අමානා බැංකුව සිය ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහන වන OrphanCare භාරය ඔස්සේ සමාජයේ යහපත වෙනුවෙන් අර්ථවත් මෙහෙවරක් ඉටුකරමින් සිටී. මෙය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 10 වන ඉලක්කය වන ‘අසමානතා අවම කිරීම’ මත පදනම්ව සහ, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ 2 වැනි වගන්තිය මඟින් සහතික කර ඇති, සැමට සමානව සැලකීමේ ප්‍රතිපත්තිය මත පදනම්ව ක්‍රියාත්මක වන වැඩසටහනකි. මෙමඟින් වයස අවුරුදු 18 සම්පූර්ණ වී ළමා නිවාසවලින් ඉවත්ව යාමට සිදු වන, දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට මූල්‍යමය වශයෙන් ස්වාධීන ජීවිත ගොඩනංවා ගැනීම සඳහා සහය වෙමින්, සමාජය තුළ ඔවුන් දෙවැනි වරටත් අතහැර දමනු ලැබීමේ අවදානම අවම කරයි. මේ වන විට දිවයින පුරා ළමා නිවාස 90 කට අධික සංඛ්‍යාවක දරුවන් 3,200 කට වැඩි පිරිසකට මෙම වැඩසටහන මඟින් සෙත සැලසී තිබේ. ප්‍රතිලාභීන්ගේ ජීවිතවල සිදු වූ පරිවර්තනයන් සවිස්තරව දක්වමින් OrphanCare භාරය මෑතකදී සිය ප්‍රථම වාර්තාව (Impact Report) එළිදැක්වූ අතර, එය www.orphancare.org වෙබ් අඩවියට ඇතුළත් කර ඇත.

අපගේ 15 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී, අපගේ ආරම්භක සභාපති ඔස්මාන් කාසිම් මහතාගේ සහ ආරම්භක අධ්‍යක්ෂවරුන්ගේ දූරදර්ශී නායකත්වයටත්, වර්තමාන සභාපති අස්ගි අක්බරලි මහතාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙන්ම ෂරියා අධීක්ෂණ මණ්ඩලයේ අඛණ්ඩ මඟපෙන්වීමටත්, අපගේ නියාමන ආයතන සහ බාහිර විගණකවරුන් ලබාදෙන වටිනා සහයෝගයටත් මාගේ කෘතඥතාව පළ කරමි. එමෙන්ම කැපවීම, වෘත්තීයභාවය සහ නොසැලෙන අධිෂ්ඨානය පෙරදැරිව බැංකුවේ සෑම ජයග්‍රහණයකටම උර දෙන 900 කට අධික අපගේ කාර්ය මණ්ඩලය වෙතද මගේ හද පිරි ස්තූතිය පුද කර සිටිමි. 

අද අප සමරන මොහොතට ළඟා වීමට අප හට විශ්වාසය, ළැදියාව හා සහයෝගය ලබාදුන් ගනුදෙනුකරුවන් වන ඔබ සැමටද මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.

අපගේ ඉදිරි ගමනේ මීළඟ පරිච්ඡේදය වෙත පියනඟන මේ මොහොතේ, දෙවියන්ගේ ආශීර්වාදය ඇතිව, ඔබට ඉහළම මට්ටමේ සේවාවක් ලබාදෙමින්, ‘සංවර්ධනයට අත්වැලක්, ඉසුරුමත් ජීවිතයක්’ යන අපගේ මෙහෙවර වෙනුවෙන් අඛණ්ඩව කැපවීමට අපි අධිෂ්ඨාන කරගෙන සිටින්නෙමු. 

අද මෙන්ම ඉදිරියටත් ඔබට මෙලෙසින්ම සේවය කිරීම අපගේ ඒකායන අරමුණයි. 

මන්ද යත්, අමානා බැංකුව ඔබේ බැංකුව වන බැවිනි. 

Amãna Bank

මොහොමඩ් අස්මීර්
කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී
අමානා බැංකුව

අයදුම් කරන්න
Financing Calculator
Chat on WhatsApp
govpay