A- A A+
සෙවීමට
  • Amãna Bank PLC Blog Detail - Main Visual

කාර්තුව තුළ වාර්තා කළ විශිෂ්ටතම කාර්ය සාධනයක් සමගින් අමානා බැංකුවේ බදු-පෙර ලාභය 78% ක වර්ධනයක් කරා ළඟා වේ.

අමානා බැංකුව November 13, 2023

අමානා බැංකුව සිය ඉතිහාසයේ කාර්තුවක් තුළ වාර්තා කළ විශිෂ්ටතම මූල්‍ය ක්‍රියාකාරීත්වය සනිටුහන් කරමින් සහ සිය ලාභදායීත්වයේ ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙනයමින්, 2023 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 9 සඳහා රු. බිලියන 1.68 ක බදු-පෙර ලාභයක් වාර්තා කරගැනීමට සමත් විය. මෙය පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ, කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිවේදනය කරන ලද අන්තර්වාර මූල්‍ය ප්‍රතිඵලවල දැක්වුණු රු. මිලියන 940.0 ක බදු-පසු ලාභයට සාපේක්ෂව 78% ක වර්ධනයකි. බැංකුවේ 3 වන කාර්තුවට පමණක් අදාළ මූල්‍ය ප්‍රතිඵලද ඉතිහාසයේ ඉහළම අගය වන රු. මිලියන 874.0 ක් ලෙස වාර්තා වන අතර, එය 2022 වර්ෂයේ 3 වන කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 383.0 ට සාපේක්ෂව 128% ක් වැනි ඉහළ වර්ධනයකි.

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින පසුබිමක් තුළ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, ආයතනික සහ පාරිභෝගික වෙළඳාම් ක්ෂේත්‍රයන්ට අඛණ්ඩව සහය වෙමින්, ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වීම නිසා මෙම සුවිශේෂී ක්‍රියාකාරීත්වය වාර්තා කරගැනීමට බැංකුවට හැකි වී ඇත.

65% ක බදු ගෙවීමකින් අනතුරුව, අමානා බැංකුව මෙම වසරේ ප්‍රථම මාස 9 සඳහා රු. මිලියන 891.5 ක බදු-පසු ලාභයක් වාර්තා කළ අතර, මෙය පෙර වසරේ වාර්තා වූ රු. මිලියන 600.5 ට සාපේක්ෂව 48% ක වර්ධනයකි. බැංකුවේ 3 වන කාර්තුවේ බදු-පසු ලාභයද රු. මිලියන 238.5 සිට රු. මිලියන 471.9 දක්වා 98% කින් වර්ධනය වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, බැංකුවේ කොටසක් සඳහා ඉපැයුම 2022 වසරේ අදාළ කලසීමාවට වාර්තා වූ 5.6% ට සාපේක්ෂව 2023 තුන්වන කාර්තුවේදී 8% දක්වා ඉහළ ගොස් ඇත.

අමානා බැංකුවේ මූල්‍ය පහසුකම් ආදායම, පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව, රු. බිලියන 8.09 සිට රු. බිලියන 12.97 දක්වා 60% කින් වර්ධනය වී ඇති අතර, කාර්යක්ෂම ලෙස අරමුදල් යෙදවීම සහ මූල්‍ය පහසුකම් සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබේ. බැංකුවේ මූල්‍ය පහසුකම් ආන්තිකය 3.6% සිට 4.5% දක්වා වර්ධනය වී ඇති අතර, ශුද්ධ මූල්‍ය පහසුකම් ආදායම පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 56% කින් වර්ධනය වී රු. බිලියන 4.85 ක් ලෙස වාර්තා වී ඇත.

අමානා බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම සහ ශුද්ධ වෙළඳ ආදායම පිළිවෙළින් රු. මිලියන 701.4 (පසුගිය වසරට සාපේක්ෂව 36% ක වර්ධනයක්) සහ රු. බිලියන 1.17 (පසුගිය වසරට සාපේක්ෂව 83% ක වර්ධනයක්) ලෙස වාර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් සමස්ත මෙහෙයුම් ආදායම 58% කින් වර්ධනය වී රු. බිලියන 6.74 ක් බවට පත් වී තිබේ. අක්‍රීය මූල්‍ය ප්‍රතිපාදන ඉහළ ගොස් ඇති නමුත්, බැංකුවේ ශුද්ධ මෙහෙයුම් ආදායම මාස 12 කට පෙර වාර්තා වූ රු. බිලියන 3.49 ට සාපේක්ෂව 51% කින් වර්ධනය වී රු. බිලියන 5.29 ක් ලෙස වාර්තා වී ඇත. සියලු බදුවලට පෙර අමානා බැංකුව මෙම විශ්ලේෂණයට අදාළ කාලසීමාව තුළ වාර්තා කළ මෙහෙයුම් ලාභය, පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 1.32 ට සාපේක්ෂව 92% ක් වැනි කැපීපෙනෙන මට්ටමකින් වර්ධනය වී, රු. බිලියන 2.54 ක් ලෙස වාර්තා වී තිබේ.

දැඩි ද්‍රවශීලතා තත්ත්වයන් මධ්‍යයේ වුවද, අමානා බැංකුව වසරේ මුල් මාස 9 තුළ සිය පාරිභෝගික තැන්පතු 14% කින්, එනම් රු. බිලියන 15.8 කින් වර්ධනය කරගෙන ඇති අතර, එහි සේවා කළඹෙහි වටිනාකම රුපියල් බිලියන 128.3 ක් විය. මෙය අමානා බැංකුවේ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතිය ජනතාව අතර පෙරටත් වඩා ජනප්‍රිය වී ඇති බවට සාක්ෂියකි. බැංකුවේ ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය 40% ක් වූ අතර, නිකුත් කළ පාරිභෝගික මූල්‍ය පහසුකම් ප්‍රමාණය 5% කින් වර්ධනය වී රු. බිලියන 87.1 ක් ලෙස වාර්තා වී තිබේ. නිසි කලට ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වීම සහ සේවා එකතුව කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම හේතුවෙන්, තුන්වන පෙළ අක්‍රීය මූල්‍ය අනුපාතය වෙළඳපොළේ අවම අගයක්, එනම් 1.6% ක් ලෙස වාර්තා වී ඇත.

2023 සැප්තැම්බර් මස 30 දින වන විට අමානා බැංකුවේ වත්කම්වල මුළු වටිනාකම රු. බිලියන 148.3 ක් වූ අතර, කොටස් හිමිකරු අරමුදල රු. බිලියන 15 ඉක්මවා තිබිණි.

අමානා බැංකුවේ මූල්‍ය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එහි සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ අදහස් දැක්වී ය. “මේ ආකාරයට කාර්තුවකදී වාර්තා කරගත් විශිෂ්ටතම මූල්‍ය ප්‍රතිඵල සමගින් අප පෙන්නුම් කර ඇති ඉහළ මූල්‍ය ක්‍රියාකාරීත්වය මගින් පෙනී යන්නේ, අප විශිෂ්ටත්වය වෙනුවෙන් කෙතරම් කැපවනවාද යන්නයි. අපගේ වර්ධනයේ ගමන් මග, අපගේ සුවිශේෂී මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතිය තවදුරටත් වර්ධනය කරගැනීමට අප දරන උත්සාහයට සාක්ෂි දරනවා. මේ සඳහා අපට ශක්තියක් වූ සියලුම පාර්ශ්වකරුවන්ට අපගේ ස්තූතිය හිමි විය යුතුයි.”

අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ අදහස් පළකළේ ය. “අමානා බැංකුව මෙම තුන්වන කාර්තුවේදී අත්කරගෙන ඇති ප්‍රතිඵල, අභියෝගකාරී වාතාවරණයන්ට ඔරොත්තු දීමට සඳහා අප සතු හැකියාවට මනා සාක්ෂියක්. වටිනාකම මත පදනම් වූ විසඳුම් හඳුන්වා දීම සහ මානුෂ හිතවාදී බැංකුකරණ මූලධර්ම අනුගමනය කිරීම මෙම සුවිශේෂී වර්ධනයට හේතු වී ඇති අතර, සියලු පාර්ශවකරුවන් කෙරෙහි අර්ථවත් බලපෑමක් ඇති කිරීමට අප තුළ ඇති කැපවීම මින් පෙන්නුම් කරනවා. අප කෙරෙහි රඳවා ඇති විශ්වාසය සහ නිරන්තරයෙන් ලබාදෙන සහයෝගය වෙනුවෙන්, අපගේ අධ්‍යක්ෂවරුන්ට, කළමනාකාරීත්වයට, කාර්ය මණ්ඩලයට, කොටස් හිමියන්ට සහ ගනුදෙනුකරුවන්ට අපගේ ස්තූතිය හිමි විය යුතුයි. ‘සංවර්ධනයට අත්වැලක්, ඉසුරුමත් ජීවිතයක්’ යන අපගේ මෙහෙවර ඔස්සේ, මීටත් වඩා හොඳ ප්‍රතිඵල සමගින් 2023 වර්ෂය අවසන් කළ හැකි වනු ඇතැයි කියා අප සුභවාදීව විශ්වාස කරනවා.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

Featured

Hajj 2025

අයදුම් කරන්න
Chat on WhatsApp