අමානා බැංකුව 2023 වසර තම ඉදිරි ගමනේ ඓතිහාසික සන්ධිස්ථානයක් බවට පත්කර ගනිමින්, මෙතෙක් වාර්තා කළ ඉහළම මූල්‍ය ක්‍රියාකාරීත්වය වාර්තා කිරීමට සමත් විය. එය අභියෝගකාරී ආර්ථික පරිසරයක් තුළ අමානා බැංකුව පෙන්නුම් කර ඇති ස්ථාවරත්වයට සහ ඔරොත්තු දීමේ හැකියාවට මෙන්ම, එහි බැංකුකරණ ආකෘතිය ක්‍රමක්‍රමයෙන් ජනතාව අතර ජනප්‍රිය වෙමින් පවතින බවට මනා සාක්ෂියකි. බැංකුවේ විගණනය කරන ලද බදු-පෙර ලාභය ආසන්න වශයෙන් දෙගුණයකින් වර්ධනය වෙමින් බිලියන 2.3 ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 1.2 ට සාපේක්ෂව 92% ක වර්ධනයකි. 2022 වසරේදී රු. බිලියන 0.8 ක් වූ බදු-පසු ලාභයද මෙවර 76% කින් වර්ධනය වී රු. බිලියනයේ සීමාව පසුකරමින් රු. බිලියන 1.4 ක් ලෙස වාර්තා වී ඇත.
මූලික ව්‍යාපාර කටයුතුවල වර්ධනය හේතුවෙන් බැංකුවේ මූල්‍ය සම්පාදන ආදායම, පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 12.1 ට සාපේක්ෂව 42% කින් වර්ධනය වී මෙවර රු. බිලියන 17.2 ක් ලෙස වාර්තා වී තිබේ. 4.3% ක් වැනි යහපත් මූල්‍ය සම්පාදන ආන්තිකයක් පවත්වා ගනිමින්, රු. බිලියන 6.5 ක ශුද්ධ මූල්‍ය සම්පාදන ආදායමක් වාර්තා කිරීමට බැංකුවට හැකි වූ අතර, මෙය 2022 වසරේදී වාර්තා වූ රු. බිලියන 4.8 ට සාපේක්ෂව 36% ක වර්ධනයකි.
ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික බැංකුකරණ ගනුදෙනුකරුවන් විසින් සිදුකරන ලද වෙළඳ කටයුතු හේතුවෙන් සහ ඩිජිටල් ගනුදෙනු හා වෙනත් අගය එකතු කළ සේවාවන් වර්ධනය වීම හේතුවෙන් ගාස්තු පදනම් කරගත් ආදායමද 24% ක් වැනි සැලකිය යුතු ප්‍රතිශතයකින් වර්ධනය වී රු. මිලියන 931 ක් ලෙස වාර්තා වී තිබේ. ඉහළ ශුද්ධ වෙළඳ ආදායම් සහ අනෙකුත් ඉපැයුම් නිසා බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රු. බිලියන 9.2 දක්වා වර්ධනය වූ අතර, මෙය 2022 වසරේදී වාර්තා වූ රු. බිලියන 6.4 ට සාපේක්ෂව 45% ක් වැනි ඉහළ වර්ධනයකි.
වෙළඳපළ තත්ත්වයන්, බැංකුවේ මූල්‍ය මෙහෙයුම් සහ දූරදර්ශී ලෙස මූල්‍ය ආරක්‍ෂිත සීමාවන් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව යන සාධක හේතුවෙන්, අදාළ වසර සඳහා අක්‍රීය මූල්‍ය ගාස්තු, 2022 වසරේදී වාර්තා වූ රු. බිලියන 1.6 ට සාපේක්ෂව 29% කින් වර්ධනය වී රු. බිලියන 2.1 ක් ලෙස වාර්තා වී ඇත. මේ ආකාරයට අක්‍රීය මූල්‍ය ගාස්තු වර්ධනය වුවද, බැංකුවේ ශුද්ධ මෙහෙයුම් ආදායම පසුගිය වසරේදී වාර්තා වූ රු. බිලියන 4.7 ට ස්පෙක්ෂාව 50% කින් වර්ධනය වී රු. බිලියන 7.1 ක් ලෙස වාර්තා වී තිබේ.
පවතින උද්ධමන තත්ත්වයන් හමුවේ පවා 42% ක් වැනි යහපත් ආදායමට පිරිවැය අනුපාතයක් (Cost to Income Ratio) පවත්වාගනිමින්, මූල්‍ය සේවාවන් මත අය කරනු ලබන එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට පෙර මෙහෙයුම් ලාභය ලෙස රු. බිලියන 3.2 ක් වාර්තා කිරීමට බැංකුව සමත් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව 85% ක වර්ධනයකි. බැංකුවේ සමස්ත බදු දායකත්වය රුපියල් බිලියන 1.8 ක් වූ අතර, එය සියලු බදුවලට පෙර බැංකුවේ මෙහෙයුම් ලාභයෙන් 57% ක් වැනි සැලකිය යුතු ප්‍රතිශතයක් විය.
සමස්තයක් ලෙස බැංකු ක්ෂේත්‍රයේ මූල්‍ය සැපයුම් වර්ධනය සෘණ අගයක් ගත්තද, උපක්‍රමික ලෙස තම අවධානය ඉහළ තලයේ ව්‍යාපාර වෙත යොමුකිරීම හේතුවෙන් එය ධනාත්මක වර්ධනයක් බවට පරිවර්තනය කරගැනීමට අමානා බැංකුව සමත් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2022 වර්ෂයේදී වාර්තා වූ රු. බිලියන 83.2 ට සාපේක්ෂව තම සමස්ත නිකුත් කරන ලද මූල්‍ය පහසුකම් ප්‍රමාණය රු. බිලියන 89.7 ක් දක්වා 8% කින් වර්ධනය කරගැනීමට බැංකුවට හැකියාව ලැබිණි. මෙම වර්ධනය වාර්තා කරගන්නා ලද්දේ ක්ෂේත්‍රයේ අවම තුන්වැනි පෙළ අක්‍රීය මූල්‍ය අනුපාතයක් වන 1.5% ක මට්ටමක් පවත්වා ගනිමින්ම වීම විශේෂත්වයකි. අමානා බැංකුවේ සුවිශේෂී මානුෂ හිතවාදී සහ සංවර්ධනය මූලික කරගත් බැංකුකරණ ප්‍රවේශය ඔස්සේ කාර්යක්ෂම අවදානම් කළමනාකරණ රාමුවක් තුළින් සහ නිසි කලට ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වීම මගින් මෙම සාර්ථකත්වය ළඟා කරගැනීමට අමානා බැංකුවට හැකි වී තිබේ. මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන සුවිශේෂී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, එම ව්‍යාපාරවල ද්‍රවශීලතා තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ ව්‍යාපාරික අඛණ්ඩතාව, මූල්‍යමය ඔරොත්තු දීමේ හැකියාව සහ ව්‍යාපාර පුනර්ජීවන උත්සාහයන් ශක්තිමත් කිරීමට බැංකුව විසින් අඛණ්ඩව ආධාර සහ උපදේශන සේවා සපයන ලදි.
අමානා බැංකුව සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් තුළ පවතින විශ්වාසය සහ ඉල්ලුම හේතුවෙන්, වෙළඳපොළේ දැඩි ද්‍රවශීලතා තත්ත්වයන් සහ අරමුදල් සඳහා පවතින දැඩි තරගකාරීත්වය මධ්‍යයේ වුවද බැංකුවේ තැන්පතු වර්ධනයේ පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිය තැන්පතුවල මුළු වටිනාකම රු. බිලියන 132.9 දක්වා 18% කින් වර්ධනය කරගන්නා අතරම, ක්ෂේත්‍රයේ ඉහළම අගයක් ලෙස සැලකිය හැකි 40% ක ජංගම හා ඉතුරුම් ගිණුම් අනුපාතයක් (CASA ratio) පවත්වාගැනීමට බැංකුව සමත් වී තිබේ.
තම වර්ධන සැලසුම් තවදුරටත් ශක්තිමත් කරගනිමින්, සිව් වැනි කාර්තුවේදී සිදුකරන ලද හිමිකම් නිකුතුව තුළින් රු. බිලියන 6 ක ප්‍රාග්ධනයක් තහවුරු කරගැනීමට බැංකුවට හැකි විය. මෙම හිමිකම් නිකුතුවට විදේශ ආයෝජකයන්, සමාගම් සහ ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති පුද්ගලයන් ඇතුළුව බැංකුවේ වර්තමාන කොටස් හිමියන් සහ නව ආයෝජකයන් විශාල පිරිසකගේ දායකත්වය ලැබිණි. මෙම හිමිකම් නිකුතුව මගින් රැස්කරගන්නා ලද ප්‍රාග්ධනය තුළින්, බැංකු ක්ෂේත්‍රයට අදාළව නිකුත් කරන ලද නවතම නියාමන රෙගුලාසිවලට අනුව ඉහළ නංවන ලද අවම ප්‍රාග්ධන අවශ්‍යතා සීමාව සපුරා ගැනීමට අමානා බැංකුවට හැකි විය. බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 150 සීමාව පසුකරමින් රු. බිලියන 178.8 ක් දක්වා වර්ධනය වී තිබේ. 2022 වසරේදී රු. බිලියන 141.7 ක් වූ එම අගය 2023 දෙසැම්බර් මස අවසානය වනවිට 13% කින් වර්ධනය වී රු. බිලියන 159.5 ක් ලෙස වාර්තා වී තිබිණි.
2023 වසරේදී වාර්තා වූ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල අනුව, වසර අවසානයේදී රු. බිලියන 6 ක ප්‍රාග්ධනයක් ලැබුණද, අමානා බැංකුවේ කොටසක් සඳහා ඉපැයුම 2022 වසරේදී වාර්තා වූ 5.6% ට සාපේක්ෂව 7.7% දක්වා වර්ධනය වී තිබේ. 2023 දෙසැම්බර් 31 වනවිට අමානා බැංකුවේ පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන අනුපාතය සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතය පිළිවෙළින් 16.5% ක් සහ 19.3% ක් වූ අතර, මෙය අවම නියාමන අවශ්‍යතා මට්ටම් වන 7% ට සහ 12.5% ට ලෙස පැහැදිලි ලෙසම ඉහළ මට්ටමකි.
අමානා බැංකුවේ කාර්යසාධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ පැවසී ය. “ක්‍රමයෙන් වැඩිවන අභියෝග හමුවේ, එම අභියෝගවලට ඔරොත්තු දෙමින් ඉදිරියටම යාමේ හැකියාව තමන් සතු බව සනාථ කරමින් අමානා බැංකුව, 2023 වසරේදී තම ඉතිහාසයේ වාර්තා කළ විශිෂ්ටතම මූල්‍ය ප්‍රතිඵල සනිටුහන් කිරීම ඇතුළු සන්ධිස්ථාන රැසක් පසුකිරීමට සමත් වීම මට මහත් සතුටක්. මෙය අපගේ මානුෂ හිතවාදී සහ සංවර්ධනය අරමුණු කරගත් බැංකුකරණ ප්‍රවේශය සම්බන්ධයෙන් ජනතාව අතර පවතින පිළිගැනීම වැඩිවෙමින් පවතින බවත් අපගේ පාර්ශ්වකරුවන් අප කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තබා ඇති බවට මනා සාක්ෂියක්. අපගේ අධ්‍යක්ෂවරුන්ට, කළමනාකාරීත්වයට සහ කාර්ය මණ්ඩලයට මෙන්ම ගනුදෙනුකරුවන් සහ කොටස් හිමිකරුවන් ඇතුළු සියලුම දෙනාට මගේ ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. මේ ශක්තිය ඔස්සේ අනාගතය වෙත ප්‍රවේශයක් ලබාගනිමින්, ක්‍රමයෙන් වර්ධනය වන ක්ෂේත්‍රයක් වන මෙම ක්ෂේත්‍රයට නායකත්වය දීමට අප සූදානම්.”
අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ තම අදහස් පළකළේ ය. “2023 වසර අමානා බැංකුවට ඓතිහාසික වසරක්. එම වසරේදී විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් සමගින් සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්කරගන්නා අතරම, අභියෝගකාරී ආර්ථික වටපිටාවක් තුළ පවා ආයෝජකයන් සහ පාර්ශ්වකරුවන් අප කෙරෙහි තැබූ විශ්වාසය ඔස්සේ නව ප්‍රාග්ධන සැපයුමක් සමගින් අපගේ අනාගත සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පදනම ශක්තිමත් කරගැනීමට අපට හැකියාව ලැබුණා. මෙවැනි සාර්ථකත්වයක් අත්කර ගැනීමට අපට හැකි වුණේ, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සමාගම් සහ පාරිභෝගික වෙළඳාම් යන අංශවලට අඛණ්ඩව සහය ලබාදෙමින් සහ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලමින්, රටේ ආර්ථික පුනරුදය සිදුවෙමින් පවතින මේ වැදගත් අවස්ථාවේ රටේ ආර්ථිකයට වටිනාකම් එක්කිරීමට අප කටයුතු කළ නිසයි. ඒ වෙනුවෙන් අපගේ සභාපතිතුමන්, අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරීත්වය, කාර්ය මණ්ඩලය, කොටස් හිමිකරුවන්, ගනුදෙනුකරුවන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු සියලුම දෙනාට මගේ ස්තූතිය හිමිවෙනවා. පුළුල් වූ ප්‍රාග්ධන පදනම සමගින්, අපගේ මූලික ව්‍යාපාර කටයුතු, ඩිජිටල් තාක්ෂණය සහ තිරසාර බැංකුකරණ වැඩසටහන් සඳහා වැඩි වැඩියෙන් ආයෝජනය කරමින් අඛණ්ඩව දියුණුව කරා පියනැගීමට අප සූදානම්.”
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
Image Caption -
Image 1 - අස්ගි අක්බරලි මහතා, සභාපති, අමානා බැංකුව
Image 2 - මොහොමඩ් අස්මීර් මහතා, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී