• Amãna Bank PLC Blog Detail - Main Visual

ඔබේ නිවාස සිහිනය සැබෑ කිරීමට අමානා බැංකුව සහ ප්‍රයිම් සමූහ ව්‍යාපාරය එක් වේ

අමානා බැංකුව August 27, 2024

අමානා බැංකුව සහ ප්‍රයිම් සමූහ ව්‍යාපාරය විශේෂ අවබෝධතා ගිවිසුමකට එළඹීම පසුගියදා සිදුවිය. ප්‍රයිම් සමූහ ව්‍යාපාරය වෙතින් දේපළ මිලදී ගන්නා පාරිභෝගිකයන්ට සහනදායී මානුෂ හිතවාදී මූල්‍ය පහසුකම් සැලසීම මෙහි අරමුණයි. මෙය ජනතාවට වඩාත් පහසුවෙන්ම තම නිවාස හා දේපළ සිහින සැබෑ කරගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත.

මෙම හවුල්කාරීත්වයෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රයිම් සමූහයේ දැනට ඉදිකිරීම් අවසන් වී ඇති සියලුම මහල් නිවාස හා දේපළ සඳහා අමානා බැංකුවේ මූල්‍ය පහසුකම් ලබාගැනීමට පූර්ව-අනුමැතිය හිමි වේ. මේ සඳහා අදාළ ගනුදෙනුකරු වෙනුවෙන් මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා අනුමැතිය ලබාගැනීම පමණක් සිදුකළ යුතු අතර, මෙම ක්‍රියාවලිය රාජකාරි දින 3 ක් ඇතුළත බැංකුව මගින් සිදුකරනු ඇත. ගනුදෙනුකරුවන්ගේ ආදායම අනුව ඔවුන්ට ගැළපෙන ආපසු ගෙවීමේ ක්‍රම සකස් කර දීමටද අමානා බැංකුව සූදානමින් සිටී. එමෙන්ම තම මානුෂ හිතවාදී බැංකුකරණ ප්‍රවේශය යටතේ, අදාළ මූල්‍ය පහසුකම නියමිත කාලයට පෙර ආපසු ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන්ට අමතර ගාස්තුවකින් තොරව එය සිදුකිරීමට අවස්ථාව සලසා දීමටද අමානා බැංකුව පියවර ගෙන ඇත.

“ඉහළ ප්‍රමිතියෙන් යුත් නිවාස සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතිනවා. අප ප්‍රයිම් සමූහය සමග මෙබඳු ගිවිසුමකට එළඹුණේ ඒ නිසයි. මෙමගින් බොහෝ දෙනෙකුට සාර්ථක ලෙස දේපළ සඳහා ආයෝජනය කිරීමට හැකි වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා පැවසී ය.

“අපගේ පාරිභෝගිකයන්ට නම්‍යශීලී හා මානුෂ හිතවාදී මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා අමානා බැංකුව සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙමගින් පහසුවෙන් ලබාගත හැකි සහනදායී මූල්‍ය පහසුකම් යටතේ සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීමට බොහෝ දෙනෙකුට අවස්ථාව ලැබේවි.” ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නලින්ද හීනටිගල මහතා පැවසී ය.

අමානා බැංකුව මගින් පිරිනමනු ලබන සුවිශේෂී දේපළ මූල්‍ය පහසුකම් පිළිබඳ වැඩිදුර තොරතුරු www.amanabank.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 7756756 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි වේ.

අමානා බැංකුව පිළිබඳව

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ප්‍රයිම් සමූහ ව්‍යාපාරය පිළිබඳව

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය වසර 29 කට අධික කාලයක් පුරා පාරිභෝගිකයන්ගේ නොසැලෙන විශ්වාසය දිනා සිටී. ‘ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත්කිරීම’ යන සනාතන දැක්මෙන් ලබන පන්නරය එම සමූහයේ අනුබද්ධ සමාගම් ඉඩම්, නිවාස සහ දේපළ යන ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක වේ. මේ වනවිට Asia Property Guru වෙතින් හිමි වූ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දේපළ සංවර්ධන සමාගම’ සම්මානය, ආයතනික ප්‍රජා සත්කාර සඳහා වූ විශේෂ ඇගයීම මෙන්ම Asia One සඟරාව මගින් ආසියාවේ විශිෂ්ටතම සන්නාම අතරට නම්කරනු ලැබීම සහ 2018 වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා ලෙස නම්කරනු ලැබීම ඇතුළු සම්මාන හා ඇගයුම් රැසකින්ද ප්‍රයිම් සමූහ ව්‍යාපාරය පිදුම් ලබා ඇත. මෙම ජයග්‍රහණ සියල්ල, ප්‍රයිම් සමූහය මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරයි.

මේ ආකාරයට විවිධ සම්මානවලින් පිදුම් ලබමින් සහ විවිධ පාර්ශ්වයන් වෙතින් ඇගයීමට ලක්වෙමින් ප්‍රයිම් සමූහය තම දැක්ම, නවෝත්පාදනය සහ විශ්වාසනීයත්වය තුළින් මෙරට නිවාස හා දේපළ ක්ෂේත්‍රය තුළ පෙරළියක් සිදුකරමින් සිටී.

ඡායාරූපය (වමේ සිට): අමානා බැංකුවේ වෙනුවෙන් එහි හවුල්කාරීත්ව සම්බන්ධතා සහකාර නිලධාරිනී හර්ෂිනී මුරලිදරන්, පාරිභෝගික මූල්‍ය සේවා ප්‍රධානී රියාස් නූර්, අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් යන මහත්ම මහත්මීන් සහ ප්‍රයිම් සමූහ ව්‍යාපාරය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ (ආයතනික කටයුතු) නලින්ද හීනටිගල, විධායක අධ්‍යක්ෂිකා ශෙහානා බ්‍රාහ්මණගේ, ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම් හා මෙහෙයුම්) සුරංග පීරිස් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (විකුණුම් හා අලෙවි) තුවාන් හනීෆා යන මහත්ම මහත්මීන්

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo