අමානා බැංකුව සිය හිමිකම් නිකුතුව මගින් රු. බිලියන 6 ක ප්‍රාග්ධනයක් රැස්කරමින් තම හිමිකම් නිකුතුව සාර්ථක ලෙස අවසන් කළ බව කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රාග්ධනයට අදාළ නියාමන සීමාවන් ඉහළ නංවනු ලැබීම හේතුවෙන්, එම නියාමන අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම හිමිකම් නිකුතුව සිදුකරන ලදි. මීට පෙර අමානා බැංකුවේ කොටස් මිලදීගෙන තිබූ කොටස් හිමිකරුවන් මෙන්ම නව ගැනුම්කරුවන්ද කොටස් මිලදී ගත් අතර, ඊට දේශීය හා විදේශීය සමාගම් මෙන්ම ඉහළ ශුද්ධ වත්කම් හිමි ආයෝජකයන්ද ඇතුළත් විය.
මෙම හිමිකම් නිකුතුව මගින් ලැබුණු විදේශ ආයෝජනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 5 කට ආසන්න වේ. ඒ අනුව, අමානා බැංකුවේ ප්‍රධාන කොටස් හිමිකරු වන, AAA ශ්‍රේණිගත IsDB Group මගින් දැනට සිදුකර ඇති සමස්ත ආයෝජනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 25 ඉක්මවයි. රටේ පවතින අභියෝගකාරී තත්ත්වයන් හමුවේ වුවද එම සමූහය අඛණ්ඩව අමානා බැංකුව සහ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය රඳවා ඇති බව මෙමගින් තහවුරු වේ. රට මුහුණ දුන් වඩාත්ම අභියෝගකාරී කාලසීමාවන්හිදී රටට විදේශ ආයෝජන රැගෙන ඒම වෙනුවෙන් අමානා බැංකුව මීට පෙර ශ්‍රී ලංකා මහා බැංකුවේ ගෝලීය වාණිජ විශිෂ්ටත්ව සම්මානයෙන්ද පිදුම් ලැබී ය.
ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර රැසක් ආවරණය කරන සමූහ ව්‍යාපාරයක් වන Senthilverl Holdings අමානා බැංකුවේ කොටස් මිලදීගැනීම ආරම්භ කළේ 2021 වසරේදී ය. මෙවර හිමිකම් නිකුතුවට ලබාදුන් පුළුල් දායකත්වයත් සමගින් එම සමාගම මේ වනවිට අමානා බැංකුවේ දෙවැනි විශාලතම කොටස් හිමිකරු බවට පත් වී සිටී.
පසුගිය වසර කිහිපය තුළ බාහිර අභියෝග රැසකට මුහුණ දෙමින්, එම අභියෝග ජයගනිමින්, අඛණ්ඩව ඉහළ කාර්යසාධනයක් වාර්තා කිරීමට අමානා බැංකුව සමත් වී තිබේ. මේ නිසාම, තම කොටස් හිමිකරුවන්ට උපරිම වටිනාකම් තිළිණ කිරීම සඳහා වූ කැපවීම යළි යළිත් තහවුරු කරමින් අමානා බැංකුව අඛණ්ඩව අවස්ථා 6 කදී වාර්ෂික ලාභාංශ ගෙවීම් ප්‍රකාශයට පත්කළේ ය. 2022 වර්ෂයේදී තමන් එතෙක් වාර්තා කළ ඉහළම බදු-පසු ලාභය වාර්තා කිරීමට බැංකුව සමත් වූ අතර, 2023 වසරේ මුල් මාස 9 තුළදී එම මට්ටම අභිභවා යාමට බැංකුව සමත් විය. මෙම සුභදායී ප්‍රවණතාව ඉදිරියටත් එලෙසින්ම පවතිනු ඇතැයි අමානා බැංකුව බලාපොරොත්තු වෙයි.
අමානා බැංකුවේ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතිය මෙරට ජනතාව අතර අඛණ්ඩව ජනප්‍රිය වීම හේතුවෙන්, එම බැංකුව 2020 වසරේදී මෙරට තුළ ඉක්මනින්ම සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 100 සීමාව පසුකිරීමට සමත් වූ බැංකු අතරින් එකක් බවට පත්විය. මෙම හිමිකම් නිකුතුවත් සමග එම වත්කම් වටිනාකම රු. බිලියන 150 පසුකර තිබේ. එමෙන්ම, පොළිය පදනම් කර නොගත් විකල්ප බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස තමන් සතු පිළිගැනීම නැවතත් තහවුරු කරගනිමින්, The Asian Banker මගින් ප්‍රකාශයට පත්කරනු ලබන ලොව ශක්තිමත්ම ඉස්ලාමීය බැංකු 100 ලැයිස්තුව තුළ දිගින් රැඳී සිටීමට අමානා බැංකුව සමත් වී ඇත.
තවද LMD Brand Finance මගින් ප්‍රකාශයට පත්කරනු ලබන, ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම ලයිස්තුවේ නවතම ලැයිස්තුගත කිරීම් අතර එහි 81 වැනි ස්ථානයේ සිට ස්ථාන 14 ක් ඉදිරියට එමින් 67 වන ස්ථානය හිමිකර ගැනීමට අමානා බැංකුවට හැකියාව ලැබී තිබේ. සිය සන්නාම වටිනාම මෙලෙස ධනාත්මක ලෙස වර්ධනය කරගැනීමට සමත් වී ඇත්තේ සන්නාම කිහිපයක් පමණි.
“අභියෝගකාරී ආර්ථික තත්ත්වයන් හමුවේ පවා, මෙම හිමිකම් නිකුතුව තුළින් රු. බිලියන 6 ක ප්‍රාග්ධනයක් රැස්කර ගැනීමට අපට උපකාරී වූ අපගේ වටිනා කොටස් හිමියන්ට අප බෙහෙවින් කෘතඥ වනවා. අපගේ දැක්ම කෙරෙහි ඔවුන් රඳවා ඇති විශ්වාසය නිසා, ප්‍රාග්ධනය සම්බන්ධ නියාමන සීමාවන් පසුකර යමින් අපගේ ප්‍රාග්ධන-සප්‍රමාණතා මට්ටම් ශක්තිමත් කරගැනීමට අපට හැකි වුණා. මෙම සාර්ථකත්වයත් සමග, අඛණ්ඩව කොටස් හිමිකරුවන් වෙත ප්‍රතිලාභ පිරිනමමින්, දියුණුවේ මීළඟ අදියර වෙත ගමන් කිරීමට අමානා බැංකුව සූදානම්.” අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා පැවසී ය.
“අභියෝගකාරී වෙළඳපොළ පරිසරයක් තුළ හිමිකම් නිකුතුවක් සාර්ථකව සිදු කිරීම යනු, අපගේ කොටස් හිමියන්ගේ නොසැලෙන විශ්වාසය සහ සහයෝගය මෙන්ම අපගේ සුවිශේෂී බැංකුකරණ ආකෘතිය සහ කාර්යසාධනය පිළිබඳ නව ආයෝජකයන් තුළ ඇති විශ්වාසය පෙන්නුම් කරන සාධකයක්. මේ ඔස්සේ ලැබුණු නව ප්‍රාග්ධනය අපට අනාගත වර්ධනය සඳහා මනා පදනමක් ලෙස භාවිතා කිරීමට පුළුවන්. එය අපගේ ව්‍යාපාර කටයුතු පුළුල් කරන අතරම, පොරොන්දු වූ පරිදිම කොටස් හිමියන්ගේ ආයෝජන වෙනුවෙන් කෘතඥතා-පූර්වකව ඉහළ ප්‍රතිලාභ පිරිනැමීමට අවස්ථාවක් ලබාදෙනවා. එමෙන්ම අප වෙත ලබාදුන් සහයෝගය, මගපෙන්වීම සහ කාලීන මැදිහත්වීම වෙනුවෙන් නියාමන අංශවලට මගේ ස්තූතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගැනීමට මා කැමතියි. එම සහයෝගය නිසා අපට මේ හිමිකම් නිකුතුවේ මූලික අරමුණු සාක්ෂාත් කරගැනීම පහසු වුණා.” අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.
අමානා බැංකුව පිළිබඳව
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන, IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2023 වර්ෂයේ ඔක්තිබර් මාසයේදී Fitch Ratings මගින් අමානා බැංකුව වෙත BB+(lka) ස්ථාවර ස්වරූපයක් යන ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිය පිරිනමන ලදි.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. OrphanCare භාරය යනු අවුරුදු 18 සම්පූර්ණ වී ළමා නිවාසවලින් පිටව යාමට සිදුවන දරුවන්ගේ යහපත වෙනුවෙන් පිහිටුවන ලද ස්වාධීන භාර අරමුදලකි. වෙනස් කොට සැලකීම පිටුදැකීම ඉලක්ක කරගත් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 2 වැනි වගන්තිය තුළින් පන්නරය ලබන මෙම අරමුදල, සමාජ සේවය පිළිබඳව දීර්ඝකාලීන පළපුරුද්දක් ඇති භාරකරුවන් පිරිසක් මගින් පාලනය වේ.