අමානා බැංකුව 2023 වසරේ ප්‍රථම අර්ධයට සාපේක්ෂව 2024 මධ්‍ය වාර්ෂික කාර්ය සාධනයේ වාර්තාගත වර්ධනයක් අත් කරගැනීමට සමත් වී තිබේ. බැංකුවේ ලාභදායීත්වය, අත්තිකාරම්, තැන්පතු සහ සමස්ත වත්කම් ඇතුළු අංශ රැසක මෙම වර්ධනය වාර්තා වී ඇති අතර, ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් (CASA) අනුපාතය සහ තුන්වැනි පෙළ අක්‍රීය මූල්‍ය අනුපාතය වැනි ප්‍රධාන අනුපාතයන් ක්ෂේත්‍රයේ සාමාන්‍ය අගයන්ට සාපේක්ෂව ඉතා යහපත් මට්ටමක පවතී.
2024 වසරේ ප්‍රථම අර්ධය තුළදී බැංකුවේ බදු-පෙර ලාභය පෙර වසරට සාපේක්ෂව 68% ක් වැනි ඉහළ ප්‍රතිශතයකින් වර්ධනය වී, රු. බිලියන 1.35 ක් ලෙස වාර්තා වී තිබේ. පෙර වසරේ අදාළ කාලසීමාව තුළ රු. මිලියන 419.6 ක් වූ බදු-පසු ලාභය මෙවර 82% කින් වර්ධනය වී රු. මිලියන 763.4 ක් ලෙස වාර්තා වී ඇත. දෙවැනි කාර්තුව තුළ පමණක් බදු-පෙර ලාභය සහ බදු-පසු ලාභය පිළිවෙළින් 63% සහ 72% බැගින් වර්ධනය වී, රු. මිලියන 616.9 ක් සහ රු. මිලියන 341.1 ක් ලෙස වාර්තා වී තිබේ.
4.3% ක් වැනි යහපත් මූල්‍ය සම්පාදන ආන්තිකයක් පවත්වා ගැනීම නිසා බැංකුවේ ශුද්ධ මූල්‍ය සම්පාදන ආදායම 2023 ජූනි 30 දින වනවිට පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5% කින් වර්ධනය වී රු. බිලියන 3.6 ක් ලෙස වාර්තා වී ඇත. මෙය දෙවැනි කාර්තුව තුළ පමණක් 9% කින් වර්ධනය වී තිබේ. ප්‍රථම අර්ධය තුළ බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 9% කින් වර්ධනය වී රු. මිලියන 519.0 ක් ලෙස වාර්තා වූ අතර, සමස්ත මෙහෙයුම් ආදායම 1% ක් වැනි සුළු පහළ යාමක් පෙන්නුම් කරමින්, රු බිලියන 4.4 ක් ලෙස වාර්තා වී ඇත. විදේශ විනිමය අධිමිල අඛණ්ඩව පහළ යාම නිසා ශුද්ධ වෙළඳ ආදායම පහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. ව්‍යාපාරකරණයට හිතකර වාතාවරණයක් පැවතීම සහ අක්‍රීය මූල්‍ය වඩාත් හොඳින් කළමනාකරණය කරගැනීම හේතුවෙන් බැංකුවේ අක්‍රීය මූල්‍ය ගාස්තු පහළ ගොස් ඇති අතර, 2023 වසරේ ප්‍රථම අර්ධයේදී රු. බිලියන 3.0 ක් වූ ශුද්ධ මෙහෙයුම් ආදායම මෙවර 34% කින් වර්ධනය වී රු. බිලියන 4.1 ක් ලෙස වාර්තා වී ඇත.
මෙහෙයුම් පිරිවැය ඉහළ ගියද ප්‍රථම අර්ධය තුළ පිරිවැය සහ වියදම අතර අනුපාතය 51% ක් වැනි යහපත් මට්ටමක පවත්වා ගැනීමට බැංකුවට හැකියාව ලැබී තිබේ. එම නිසා මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්දට පෙර මෙහෙයුම් ලාභය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 48% කින් වර්ධනය වී රු. බිලියන 1.8 ක් ලෙස වාර්තා වී ඇත. බැංකුවේ සමස්ත බදු දායකත්වය රු. බිලියන 1.1 කට ආසන්න වූ අතර, මෙය සියලු බදුවලට පෙර බැංකුවේ සමස්ත මෙහෙයුම් ලාභයෙන් 58% ක් වැනි සැලකිය යුතු මට්ටමක් විය. මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ බැංකුවේ සමස්ත පරිපූර්ණ ආදායම රු. මිලියන 755.3 ක් වූ අතර, එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 95% ක් වැනි ඉහළ වර්ධනයකි.
අරමුදල් සඳහා වෙළඳපොළේ පැවති තරගය සහ නිරන්තරයෙන් පහළ ගිය පොලී අනුපාත හමුවේ වුවද, අමානා බැංකුවේ මානුෂ-හිතවාදී බැංකුකරණ ආකෘතිය සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් අතර ඇති පිළිගැනීම ඉහළ ගොස් තිබේ. මේ නිසා 2024 ප්‍රථම අර්ධය අවසාන වන විට බැංකුවේ පාරිභෝගික තැන්පතු 10% කින් වර්ධනය වී සමස්ත එකතුව රු. බිලියන 146.3 ක් ලෙස වාර්තා වූ අතර, ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් අනුපාතය 40% වැනි යහපත් අගයක පැවතිණි. තවද බැංකුවේ සංවර්ධනය ඉලක්ක කරගත් බැංකුකරණ ප්‍රවේශය හේතුවෙන් ගනුදෙනුකරුවන් වෙත නිකුත් කරන ලද අත්තිකාරම්ද 10% කින් වර්ධනය වී රු. බිලියන 98.2 ක් ලෙස වාර්තා වූ අතර, බැංකුවේ තුන්වැනි පෙළ අක්‍රීය මූල්‍ය අනුපාතය, ක්ෂේත්‍රයේ අවම අගයක් වන 1.7% ක් ලෙස වාර්තා විය. ප්‍රථම අර්ධය අවසන් වනවිට බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 173.6 ක් විය.
2024 ජූනි 30 දින වන විට අමානා බැංකුවේ කොටසක් සඳහා ශුද්ධ වටිනාකම රු. 4.08 ක් ලෙස වාර්තා වූ අතර, 2024 ජූලි මාසයේදී බැංකුවේ කොටස් 10 ට එකක් ලෙස ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව මෙම වටිනාකම කොටසක් සඳහා රු. 40 කට අධික වේ. අදාළ මාස 6 තුළ බැංකුවේ ශක්තිමත් ක්‍රියාකාරීත්වය හේතුවෙන් කොටස් මත ප්‍රතිලාභ සහ වත්කම් මත ප්‍රතිලාභ, පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ 5.8% සහ 1.1% ට සාපේක්ෂව මෙවර පිළිවෙළින් 7.0% සහ 1.6% දක්වා වර්ධනය වී ඇත. 2024 ජූනි 30 දින වනවිට බැංකුවේ පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන අනුපාතය සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතය පිළිවෙළින් 15.4% ක් සහ 18.1% ක් වූ අතර, මෙය අවම නියාමන සීමාවන් වන 7% සහ 12.5% ට වඩා පැහැදිලි ලෙසම ඉහළ අගයකි.
මෙම මධ්‍ය වාර්ෂික කාර්ය සාධන ප්‍රතිඵල සම්බන්ධයෙන් අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ අදහස් පළකළේ ය. “2024 වර්ෂයේ ප්‍රථම අර්ධය තුළ වඩාත් වේගවත් වර්ධනයක් වාර්තා කරගැනීමට අමානා බැංකුව සමත් වීම මගින් පෙනී යන්නේ, අභියෝගකාරී වාතාවරණයක් තුළ පවා ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට අපට හැකියාව ඇති බවයි. මේ වන විට අප කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වී දශකයක් සම්පූර්ණ වී තිබෙනවා. පසුගිය වසරේ අග භාගයේ අපට ප්‍රාග්ධන ආගමනයක් සිදුවුණු අතර, මේ වසරේදී අප කොටස් ඒකාබද්ධකරණයක් සිදුකළා. මේ සියල්ල අපගේ පාර්ශ්වකරුවන් වෙත ප්‍රතිලාභ පිරිනැමීම සඳහා අප දක්වන උනන්දුව හා කැපවීම පෙන්නුම් කරන සාධක ලෙස හැඳින්වීමට පුළුවන්. මේ ගමන පුරාවටම අපට සහයෝගය දැක්වූ සියලුම දෙනාට අපගේ ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. එමෙන්ම, ඉදිරියේදී මෙම වර්ධනය තවදුරටත් වේගවත් වනු ඇතැයි කියා මා බලාපොරොත්තු වනවා.”
අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ අදහස් දැක්වී ය. “2024 ප්‍රථම අර්ධය තුළ මෙබඳු ප්‍රතිඵල වාර්තා කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම ප්‍රතිඵල, අපගේ කණ්ඩායමේ වෙහෙස මහන්සියට හා කැපවීමට සාක්ෂි දරනවා. අපගේ ක්‍රමෝපායික අරමුණු ඉටුකර ගැනීමට අප කැප වී සිටින අතර, මෙම වර්ධනය තවදුරටත් වේගවත් කරගනිමින් අපගේ පාර්ශ්වකරුවන්ට ඉහළ වටිනාකම් පිරිනැමීමට අපට හැකි වනු ඇතැයි කියා අපට විශ්වාසයි. එමෙන්ම මෙම මධ්‍ය වාර්ෂික ප්‍රතිඵල, අමානා බැංකුවේ ස්ථාවරත්වයට හා අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාවට මනා සාක්ෂියක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ ගමන පුරාවටම අප වෙත ලබාදුන් සහයෝගය මෙන්ම බැංකුවේ කෙරෙහි රැඳවූ විශ්වාසය වෙනුවෙන් මා අපගේ සභාපතිතුමන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරීත්වය, කාර්ය මණ්ඩලය, කොටස් හිමිකරුවන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම දෙනාට මහත් සේ ස්තූතිවන්ත වනවා. සුභවාදී ලෙස ඉදිරිය දකිමින්, අපගේ මානුෂ-හිතවාදී බැංකුකරණ ප්‍රවේශය ඔස්සේ දිගින් දිගටම දියුණුව කරා ගමන් කිරීම අපගේ ඉලක්කයයි.”
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
ඡායාරූපය:
අස්ගි අක්බරලි මහතා - සභාපති
මොහොමඩ් අස්මීර් මහතා - කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී