• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව මධ්‍ය වාර්ෂික බදු-පෙර ලාභයේ 44% ක වර්ධනයක් අත් කර ගනී.

අමානා බැංකුව August 14, 2023

අමානා බැංකුව සිය සාර්ථක ගමන්මගේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් 2023 වර්ෂයේ ප්‍රථම අර්ධය තුළ රු, මිලියන 802.8 ක බදු-පෙර ලාභයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 556.9 ට සාපේක්ෂව 44% ක වර්ධනයකි. අභියෝගකාරී ආර්ථික පරිසරයට මුහුණ දීමේදී පෙන්නුම් කළ ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව හේතුවෙන්, වර්ෂයේ දෙවැනි කාර්තුව තුළදී පමණක් අමානා බැංකුවේ බදු-පෙර ලාභය, පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 171.2 ට සාපේක්ෂව 122% කින් වර්ධනය වී, රු. මිලියන 379.4 ක් ලෙස වාර්තා වී තිබේ. ඉහළ බදු අනුපාතයන් යටතේ වුවද, පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 16% ක වර්ධනයක් වාර්තා කරමින් රු. මිලියන 419.6 ක බදු-පසු ලාභයක් වාර්තා කරගැනීමට අමානා බැංකුවට හැකියාව ලැබිණි. බැංකුවේ දෙවැනි කාර්තුවේ බදු-පසු ලාභය, පසුගිය වසරේදී වාර්තා වූ රු. මිලියන 111.3 ට සාපේක්ෂව 79% කින් වර්ධනය වී, රු. මිලියන 198.9 ක් ලෙස වාර්තා වී ඇත.

අමානා බැංකුවේ මූල්‍ය පහසුකම් ආදායම, රු. බිලියන 4.85 සිට රු. බිලියන 8.75 දක්වා 80% කින් වර්ධනය වී ඇති අතර, කාර්යක්ෂම ලෙස අරමුදල් යෙදවීම සහ කාලෝචිත ලෙස මූල්‍ය පහසුකම් ප්‍රතිමිලකරණය කිරීම ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂයේ ප්‍රථම අර්ධය අවසානයේදී බැංකුවේ මූල්‍ය පහසුකම් ආන්තිකය 3.6% සිට 4.8% දක්වා වර්ධනය වී ඇති අතර, ශුද්ධ මූල්‍ය පහසුකම් ආදායම පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 68% කින් වර්ධනය වී රු. බිලියන 3.36 ක් ලෙස වාර්තා වී ඇත.

අමානා බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම 66% කින් වර්ධනය වී රු. බිලියන 4.47 ක් බවට පත් වී ඇති අතර, ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම සහ ශුද්ධ වෙළඳ ආදායම පිළිවෙළින් රු. මිලියන 474.4 (පසුගිය වසරට සාපේක්ෂව 66% ක වර්ධනයක්) සහ රු. මිලියන 622.9 (පසුගිය වසරට සාපේක්ෂව 47% ක වර්ධනයක්) ලෙස වාර්තා වී තිබේ. ආර්ථික කම්පනවලට ගොදුරු විය හැකි ව්‍යාපාරවල අවදානම් අවම කිරීම සඳහා ඉහළ මට්ටමේ අක්‍රීය මූල්‍ය ප්‍රතිපාදන සැලසීම හේතුවෙන් බැංකුවේ අක්‍රීය මූල්‍ය අනුපාතය 191% කින් ඉහළ ගිය නමුත්, බැංකුවේ ශුද්ධ මෙහෙයුම් ආදායම 2022 වර්ෂයේ ප්‍රථම අර්ධයේ වාර්තා වූ රු. බිලියන 2.19 ට සාපේක්ෂව 38% කින් වර්ධනය වී රු. බිලියන 3.04 ක් ලෙස වාර්තා වී ඇත.

මූල්‍ය සේවා මත අගය එකතු කළ බද්දට සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට පෙර අමානා බැංකුවේ මෙම වසරේ ප්‍රථම අර්ධයේ මෙහෙයුම් ලාභය, පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 0.78 ට සාපේක්ෂව 57% ක් වැනි සැලකිය යුතු අනුපාතයකින් වර්ධනය වී, රු. බිලියන 1.23 ක් ලෙස වාර්තා වී තිබේ. මෙම කාලසීමාව සඳහා සමස්ත පරිපූර්ණ ආදායම රු. මිලියන 387.2 ක් වන අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 38% ක වර්ධනයකි.

දැඩි ද්‍රවශීලතා තත්ත්වයන් සහ වෙළෙඳපොළ තුළ අරමුදල් සඳහා ඇති දැඩි තරගකාරීත්වය මධ්‍යයේ වුවද, බැංකුව සිය පාරිභෝගික තැන්පතු 9% කින් වර්ධනය කරගෙන ඇති අතර, 2023 ප්‍රථම අර්ධය අවසන් වන විට එහි වටිනාකම රුපියල් බිලියන 122.9 ක් විය. මෙය අමානා බැංකුවේ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතිය ජනතාව අතර පෙරටත් වඩා ජනප්‍රිය වී ඇති බවට සාක්ෂියකි. බැංකුවේ ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය 42% ක් වූ අතර, නිකුත් කළ පාරිභෝගික මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය රු. බිලියන 80.0 ක් ලෙස සටහන් විය.

නිසි කලට ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වීම සහ සේවා එකතුව කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම හේතුවෙන්, තුන්වන පෙළ අක්‍රීය මූල්‍ය අනුපාතය වෙළඳපොළේ සාමාන්‍ය අගයට වඩා සැලකිය යුතු මට්ටමකට පහළ අගයක්, එනම් 2.2% ක් ලෙස වාර්තා වී ඇත. අමානා බැංකුවේ වත්කම්වල මුළු වටිනාකම 2023 ජූනි 30 දින වනවිට රු. බිලියන 142.0 ක් බවට පත් වී ඇති අතර, බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 15.4% ක් විය. මෙය අවම නියාමන අවශ්‍යතාව වන 12.5% ට වඩා පැහැදිලි ලෙසම ඉහළ අගයකි. මෙම කාර්යසාධනය හේතුවෙන් ‘LMD Brand Finance Top 100 Most Valuable Brands in Sri Lanka’ ලැයිස්තුවේ ස්ථාන 14 ක් ඉදිරියට පැමිණීමට අමානා බැංකුව සමත් විය.

බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතාව වන රුපියල් බිලියන 20 සපුරාගැනීම සඳහා හිමිකම් නිකුතුවක් මගින් රුපියල් බිලියන 6.7 ක කොටස් ප්‍රාග්ධනය රැස් කිරීමට තමන් බලාපොරොත්තු වන බව අමානා බැංකුව පසුගියදා නිවේදනය කළේ ය. මේ සඳහා කොළඹ කොටස් වෙළඳපොළේ සහ කොටස් හිමියන්ගේ අනුමැතිය හිමි වූ පසුව, බැංකුව විසින් කොටසක් රුපියල් 2.30 බැගින් නියම වී ඇති සෑම කොටසකටම නව කොටසක් වශයෙන් සාමාන්‍ය ඡන්ද කොටස් 2,902,267,365 ක් නිකුත් කරනු ඇත. සිය යහපත් කාර්යසාධන ප්‍රවණතාව හේතුවෙන් කොටස් හිමියන්ට දීර්ඝකාලීන වටිනාකමක් තිළිණ කිරීමට දක්වන කැපවීම පෙන්නුම් කරමින්, අමානා බැංකුව විසින් කොටසකට රු. 0.12 බැගින් වූ අන්තර්වාර ලාභාංශ ගෙවීමක්ද ප්‍රකාශයට පත් කරන ලද අතර, මෙය අමානා බැංකුව විසින් අඛණ්ඩව සිදුකරනු ලබන 6 වැනි ලාභාංශ ගෙවීම වේ.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo