අමානා බැංකුව මෙම මූල්‍ය වර්ෂයේ ප්‍රථම කාර්තුවේදීත් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී තිබේ. බැංකුවේ බදු-පෙර ලාභය පසුගිය වසරේදී අදාළ කාලසීමාවේදී වාර්තා වූ රු. මිලියන 423.5 ට සාපේක්ෂව 73% කින් වර්ධනය වී රු. මිලියන 734.5 ක් ලෙස වාර්තා වී ඇති අතර, බදු-පසු ලාභය 2023 පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 220.7 ට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී 91% කින් වර්ධනය වී රු. මිලියන 422.2 ක් ලෙස වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පුනර්ජීවන ප්‍රතිපත්තිවලට අනුකූලව වෙළඳපොළ අනුපාත පහළ හෙලීම හේතුවෙන් බැංකුවේ ආදායම සුළු වශයෙන් පහළ ගොස් රු. බිලියන 4.1 ක් ලෙස වාර්තා වී ඇත. කෙසේ නමුත් 4.5% ක් වැනි යහපත් මූල්‍ය ආන්තිකයක් පවත්වා ගැනීමට බැංකුව සමත් වී ඇති අතර, ශුද්ධ මූල්‍ය සම්පාදන ආදායම රු. බිලියන 1.8 දක්වා ඉහළ ගොස් තිබේ.
අමානා බැංකුවේ ගාස්තු හා කොමිස් ආදායම සහ වෙළඳ ආදායම පෙර වසරට සාපේක්ෂව පිළිවෙළින් 15% කින් සහ 11% කින් වර්ධනය වී රු. මිලියන 285.9 ක් සහ රු. මිලියන 275.1 ක් ලෙස වාර්තා වී ඇති අතර, එම නිසා බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රු. බිලියන 2.4 ක් ලෙස වාර්තා වී ඇත. විචක්ෂණශීලී ලෙස අවදානම් කළමනාකරණය කිරීම සහ නිසි පරිදි ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වීම හේතුවෙන් 2023 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව පහළ ගොස් ඇති අක්‍රීය මූල්‍ය ගාස්තු සැලකිල්ලට ගත් විට, බැංකුවේ ශුද්ධ මෙහෙයුම් ආදායම පෙර වසරට සාපේක්ෂව 36% කින් වර්ධනය වී රු. බිලියන 2.1 ක් ලෙස සනිටුහන් වී තිබේ.
වියදම් සහ ආදායම් අනුපාතය 48% ක් වැනි යහපත් මට්ටමක රඳවාගනිමින්, මූල්‍ය සේවාවන් මත එකතු කළ අගය මත බද්දට පෙර මෙහෙයුම් ආදායම පෙර වසරට සාපේක්ෂව 51% කින් වර්ධනය කරගනිමින් එම අගය රු. මිලියන 993.6 ක් ලෙස වාර්තා කිරීමට අමානා බැංකුවට හැකි වී ඇත. බැංකුවේ සමුච්චිත බදු දායකත්වය වූ රු. මිලියන 571.4, බදු සියල්ලට පෙර එහි මෙහෙයුම් ආදායමින් 58% ක් වැනි සැලකිය යුතු මට්ටමක් විය.
සංවර්ධනය මූලික කරගත් බැංකුකරණ ආකෘතියෙහි ජනප්‍රියත්වය ක්‍රමයෙන් වර්ධනය වීම හේතුවෙන් අමානා බැංකුවේ අත්තිකාරම් 8% කින් වර්ධනය වී රු. බිලියන 97 ක් ලෙස වාර්තා වී තිබේ. මෙම කාර්තුව තුළ දේශීය මුදල් තැන්පතු රු. බිලියන 1 කට අධික ප්‍රමාණයකින් ඉහළ ගිය නමුත්, විදේශ මුදල් ගිණුම් සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම මගින් ඇති වූ බලපෑම් සැලකිල්ලට ගත් විට, සමස්ත සේවා කළඹ රු. බිලියන 132 මට්ටමේ නොවෙනස්ව පැවතිණි. තුන්වැනි පෙළ අක්‍රීය මූල්‍ය අනුපාතය ක්ෂේත්රයේ අවම අගයක් වන 1.6% ක මට්ටමක රඳවා ගන්නා අතරම සිය අත්තිකාරම් පදනම වර්ධනය කරගැනීමට අමානා බැංකුව සමත් වී ඇත. ප්‍රථම කාර්තුව අවසානයේදී බැංකුවේ වත්කම්වල මුළු වටිනාකම රු. බිලියන 161.6 ක් විය.
කාර්තුවේදී වාර්තා කළ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල අනුව, අමානා බැංකුවේ කොටසක් සඳහා ඉපැයුම සහ වත්කම් සඳහා ඉපැයුම, 2023 වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ 6.2% සහ 1.2% ට සාපේක්ෂව මෙම සමාලෝචනයට අදාළ කාලසීමාවේදී පිළිවෙළින් 7.8% සහ 1.8% දක්වා වර්ධනය වී තිබේ. 2023 මාර්තු 31 දින වනවිට බැංකුවේ පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන අනුපාතය සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතය පිළිවෙළින් 15.6% ක් සහ 18.3% ක් වූ අතර, එය අවම නියාමන සීමාවන් වන 7% ට සහ 12.5% ට වඩා පැහැදිලි ලෙසම ඉහළ මට්ටමකි.
මෙම මූල්‍ය වර්ෂයේ මුල් මාස 3 ක කාලසීමාවට අදාළ මූල්‍ය ප්‍රතිඵල සම්බන්ධයෙන් අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ පැවසී ය. “අභියෝගකාරී, එහෙත් ක්‍රමානුකූලව යහපත් අතට හැරෙන ආර්ථික පරිසරයක් තුළ මේ ආකාරයට ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීම මගින් අමානා බැංකුව නැවත වරක්, අභියෝගවලට ඔරොත්තු දීමට තමන් සතු හැකියාව පෙන්නුම් කර තිබෙනවා. මේ යහපත් ආරම්භය, අනාගත වර්ධනය හා සමෘද්ධිය සඳහා අගනා පදනමක් බවට පත්වේවි. අමානා බැංකුවේ අඛණ්ඩ සාර්ථකත්වය වෙනුවෙන් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරමින් සිටින කළමනාකාරීත්වයට සහ කාර්ය මණ්ඩලයට මගේ ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.”
අමානා බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ සිය අදහස් පළකළේ ය. “මුල් කාර්තුවේදී අත්කරගත් මේ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල, 2024 වසරේදී අමානා බැංකුව විසින් අත්කරගනු ලැබීමට නියමිත ප්‍රගතිය සම්බන්ධයෙන් ඉතා හොඳ පෙරමග ලකුණක්. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පුනර්ජීවන ප්රයත්නයන් සමග සමපාත වන, සංවර්ධනය මූලික කරගත් සහ මානුෂ හිතවාදී බැංකුකරණ විසඳුම් පිරිනැමීම සඳහා අප දක්වන කැපවීම මෙන්ම අපගේ විචක්ෂණශීලී අවදානම් කළමනාකරණ රාමුව නිසා අපගේ නිකුත් කළ අත්තිකාරම් ප්‍රමාණයන් වර්ධනය වී තිබෙනවා. මෙය වසරේ ඉදිරි කාලය තුළ තවදුරටත් ඉහළ යනු ඇති බව මට විශ්වාසයි. මේ විශිෂ්ට ප්‍රතිඵල අත්කරගැනීම සඳහා පෙන්නුම් කළ කැපවීම මෙන්ම, අපගේ සුවිශේෂී බැංකුකරණ ආකෘතිය ඔස්සේ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට සංවර්ධනයට අත්වැලක් සහ ඉසුරුමත් ජීවිතයක් උදාකර දීම උදෙසා දරන ප්රයත්නයන් වෙනුවෙන් අපගේ කණ්ඩායමට මගේ ස්තූතිය මෙසේ පිරිනමනවා.”
2023 මූල්‍ය වර්ෂයේ 4 වැනි කාර්තුවේදී සිදුකරන ලද හිමිකම් නිකුතුව ඔස්සේ ප්රාග්ධනය රු. බිලියන 20 සීමාව පසුකරමින්, නියාමන විධිවිධාන මගින් ඉහළ නංවන ලද අවම ප්‍රාග්ධන සීමාව පසුකිරීමටත්, සිය අනාගත වර්ධන හා පුළුල්කරණ සැලසුම් තවදුරටත් ශක්තිමත් කරගැනීමටත් අමානා බැංකුවට හැකියාව ලැබිණි.
එමෙන්ම, කොටස් හිමියන්ගේ සහ නියාමන අංශවල අනුමැතියට යටත්ව, වර්තමානයේ පවතින සාමාන්‍ය කොටස් 10 ක් එක් සාමාන්‍ය කොටසක් බවට පත්කරමින් කොටස් ඒකාබද්ධකරණයක් සිදුකිරීමට තමන් සැලසුම් කර ඇති බව අමානා බැංකුව මෑතකදී නිවේදනය කළේ ය. මෙම ඒකාබද්ධකරණය හේතුවෙන් බැංකුවේ ප්‍රකාශිත ප්රාග්ධනයේ වෙනසක් සිදු නොවනු ඇත.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
ඡායාරූප :
අස්ගි අක්බරලි මහතා සභාපති
මොහොමඩ් අස්මීර් මහතා කළමනාකාර අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී