A- A A+
සෙවීමට
  • Amãna Bank PLC Blog Detail - Main Visual

බැංකු ක්ෂේත්‍රය ආශ්‍රිත පුහුණු අවස්ථාවන් පුළුල් කිරීමට අමානා බැංකුව සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය එක් වේ

අමානා බැංකුව November 26, 2024

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අමානා බැංකුව වෙතින් ප්‍රායෝගික පුහුණුවක් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් අමානා බැංකුව සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා සිදු විය. මෙය ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ අනාගත වෘත්තිකයන්ගේ දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීම සඳහා ගන්නා ලද උත්සාහයේ වැදගත් පියවරකි. මේ සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සී. පී. ඒ. කරුණාතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසී ය. “ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සීමාවාසික පුහුණු අවස්ථා ලබාදීම සඳහා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය ශ්‍රී ලංකාව තුළ කුසලතාවන්ගෙන් පරිපූර්ණ බැංකුකරණ වෘත්තිකයන් පිරිසක් නිර්මාණය කිරීම සඳහා මෙන්ම පොළිය පදනම් කර නොගත් බැංකුකරණ ක්‍රමවේදය පිළිබඳව දැනුම සහ ප්‍රායෝගික භාවිතය පුළුල් කිරීමට අප දරන උත්සාහය මැනැවින් නිරූපණය කරන එකඟතාවක් ලෙස හැඳින්විය හැකියි. රට තුළ ශක්තිමත් බැංකු ක්ෂේත්‍රයක් ගොඩනැංවීම සම්බන්ධයෙන් අප සතු දැක්ම යථාර්ථයක් බවට පත්කිරීම සඳහා මෙමගින් සුවිශාල කාර්යභාරයක් ඉටු වනු ඇතැයි අප විශ්වාස කරනවා.”

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සී. පී. ඒ. කරුණාතිලක මහතා මේ සම්බන්ධයෙන් මෙසේ තම අදහස් පළකළේ ය. “අමානා බැංකුව සමග අප ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, රටේ බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ සේවයෙහි නියුතු වෘත්තිකයන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා අප දරන උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙය ඉහළ ප්‍රමිතියකින් යුත් අධ්‍යාපන හා පුහුණු අවස්ථා ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලබාදීම සඳහා අප දක්වන කැපවීමට මනා සාක්ෂියක්. මෙම සීමාවාසික පුහුණු අවස්ථා මගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටයන් බවට පත්වීමට අවශ්‍ය අත්වැල හිමි වේවි. මේ වනවිට ගෝලීය මට්ටමින් දියුණු වෙමින් පවතින බැංකු ක්ෂේත්‍රය ආශ්‍රිත විවිධ පැතිකඩයන් සම්බන්ධයෙන් අත්දැකීම් ලැබීමට කැමැත්තෙන් සිටින අනාගත බැංකු වෘත්තිකයන්ට, අමානා බැංකුව වෙතින් ලැබෙන දැනුම හා පුහුණුව අතිශයින් වැදගත් වනු ඇතැයි කියා අප සිතනවා.”

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය විසින් මෑතකදී හඳුන්වා දුන් බැංකුකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා විශේෂඥ සහ තාක්ෂණික දැනුම ආශ්‍රිත පූර්ණ දායකත්වය ලබාදීමට අමානා බැංකුව නිරන්තරයෙන් කැප වී කටයුතු කරයි. පොලිය පදනම් කර නොගත් බැංකුකරණ මෙ‌හෙයුම් වල ප්‍රායෝගිකව නිරත වන බැංකුවක් ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ ආශ්‍රිත දැනුම හා පුහුණුව ලබාගැනීමට අවස්ථාව සලසා දීම මෙම පාඨමාලාවේ අරමුණයි.

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය යනු මෙරට බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයට අදාළ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් පිරිනමන ප්‍රමුඛතම ආයතනයකි. බැංකු ක්ෂේත්‍රය තුළ සාර්ථක වෘත්තිකයන් බවට පත්වීම සඳහා අවශ්‍ය දැනුම හා පුහුණුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලබාදීම එහි ප්‍රමුඛතම අරමුණ වී තිබේ.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ඡායාරූපය (වමේ සිට): අමානා බැංකුවේ අධ්‍යයන සංවර්ධන ප්‍රධානී සංජීව ෆොන්සේකා, එම බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ හා අලෙවිකරණ) සිද්දීක් අක්බාර්, සහකාර උප සභාපති (ආයතනික බැංකුකරණ) රාජේන්ද්‍ර ජයසිංහ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල්, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සී. පී. ඒ. කරුණාතිලක සහ එම ආයතනය නියෝජනය කරමින් සහභාගී වූ චේතනා රණවීර සහ ජිනාදි චන්ද්‍රරත්න යන මහත්ම මහත්මීන්

Featured

Hajj 2025

අයදුම් කරන්න
Chat on WhatsApp