• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවෙන් ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන්ට බැංකු ක්ෂේත්‍රය පිළිබඳ ක්ෂේත්‍ර පුහුණු මාලාවක්

අමානා බැංකුව June 24, 2024

අමානා බැංකුව ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය සමග එක් වී, විශේෂ ක්ෂේත්‍ර පුහුණු මාලාවක් හරහා එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වෘත්තීයමය කුසලතා වැඩිදියුණු කිරීමට පසුගියදා කටයුතු කළේ ය. අමානා බැංකුවේ දැනුම් අලෙවිකරණ සහ මූල්‍ය අන්තර්කරණ ඒකකය මගින් මෙම පුහුණු මාලාව පවත්වන ලදි. රටේ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව සපුරාලීම සඳහා, පොලිය පදනම් කර නොගත් බැංකුකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් සහිත වෘත්තිකයන් පිරිසක් නිර්මාණය කිරීම මෙහි අරමුණ විය. මෙම පුහුණු මාලාව හරහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයට අදාළ සංකල්පවල ප්‍රායෝගික භාවිතය සම්බන්ධයෙන් දැනුම ලබාගැනීමටත්, තම අධ්‍යයන කටයුතු අවසන් වූ පසුව සීමාවාසික පුහුණු අවස්ථා හිමිකර ගැනීමටත් අවස්ථාව හිමි වේ.

මෙම පුහුණු මාලාවේ සමාරම්භක වැඩසටහන පසුගියදා අමානා බැංකුවේ ආයතනික පරිශ්‍රයේදී පැවති අතර, අග්නිදිග විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ඊට සහභාගී වූහ. එහිදී ඔවුන්ට විශේෂ දැනුවත් කිරීමේ සැසි කිහිපයකට සහභාගී වීමටත්, බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයන් සමග අදහස් හුවමාරු කරගැනීමටත් අවස්ථාව ලැබිණි. වැඩසටහනේ අවසන් අංගය ලෙස, අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ සහ දිරිගැන්වීමේ සැසියක් පවත්වන ලදි. එහිදී වේගයෙන් වෙනස් වන ක්ෂේත්‍රයක් වන බැංකු ක්ෂේත්‍රය තුළ තම කුසලතා යාවත්කාලීන කරගනිමින් සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනංවා ගන්නා ආකාරය සම්බන්ධයෙන් පුළුල් මගපෙන්වීමක් ලබාදීමට ඒ මහතා කටයුතු කළේ ය.

“අනාගත පරපුරේ හැකියාවන් වැඩිදියුණු කිරීමට කැප වී සිටින පිරිසක් වශයෙන්, ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් හඳුන්වා දුන් ක්ෂේත්‍ර පුහුණු වැඩසටහනට මෙබඳු දායකත්වයක් ලබාදීමට හැකි වීම අපට සතුටක්. මෙමගින් අනෙකුත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් සංවර්ධනය අරමුණු කරගත් අපගේ මානුෂ-හිතවාදී බැංකුකරණ ආකෘතිය පිළිබඳව කරුණු දැනගැනීමට හැකියාව ලැබේවි. බැංකු ක්ෂේත්‍රයේ වෙනස් වීම් දෙස බලන විට, එහි නවතම ප්‍රවණතා සහ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. මෙම පුහුණු වැඩසටහන, ක්ෂේත්‍රයේ අනාගත අභියෝගවලට මුහුණ දීමේ හැකියාව සහිත වෘත්තිකයන් පිරිසක් නිර්මාණය කිරීමට කැපීපෙනෙන දායකත්වයක් දක්වනු ඇතැයි කියා මා විශ්වාස කරනවා.” අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා පැවසී ය.

“අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙබඳු පුහුණු අත්දැකීමක් ලබාගැනීමට හැකියාව ලැබුණේ ප්‍රථම වතාවටයි. මෙම වැඩසටහන, බැංකු ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අංශ පිළිබඳව අවබෝධයක් ලබාගනිමින්, නිසි සුදුසුකම් සැපිරූ බැංකුකරණ වෘත්තිකයන් බවට පත්වීමට මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහඟු පිටිවහලක් වේවි. ඔවුන්ට මෙවැනි මගපෙන්වීමක් ලබාදීම සඳහා ඉමහත් කැමැත්තෙන් යුතුව ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මා අමානා බැංකුවට බෙහෙවින් කෘතඥ වනවා.” ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය බැංකුකරණ සහ මූල්‍ය ඒකකයේ කථිකාචාර්ය ආචාර්ය රිෆාස් අබූ හුරයිරා මහතා පැවසී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ඡායාරූප :අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතමින්

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo