• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවේ නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය ගෙලිඔයදී විවෘත කෙරේ

අමානා බැංකුව March 27, 2024

අමානා බැංකුවේ නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා ගෙලිඔය ප්‍රදේශයේදී විවෘත කරන ලදි. රට පුරා වෙසෙන ජනතාවට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා අමානා බැංකුව මේ ආකාරයට සිය ශාඛා සහ ස්වයං-බැංකුකරණ ජාලය පුළුල් කිරීමට පියවර ගෙන ඇත. අංක 34/A, ගම්පොළ පාර, ගෙලිඔය යන ස්ථානයේ පිහිටා ඇති මෙම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය අමානා බැංකුවේ 61 වැනි පාරිභෝගික සේවා ස්ථානයයි.

ගෙලිඔය ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල්, ව්‍යාපාර ප්‍රධානී (මහනුවර ශාඛාව) අසාම් අමීර්, ගම්පොළ ශාඛාවේ කළමනාකරු මොහොමඩ් හෂීබ් සහ මාවනැල්ල ශාඛාවේ කළමනාකරු මොහොමඩ් රසීක් යන මහත්වරුන්, ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ පදිංචිකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙම මධ්‍යස්ථානය ගම්පොළ ශාඛාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනු ඇති අතර එමගින් පැය විසි හතර පුරා මුදල් ලබාගැනීම, මුදල් තැන්පත් කිරීම සහ චෙක්පත් තැන්පත් කිරීම යන සේවාවන් ලබාගත හැකි වේ.

නව ශාඛාව විවෘත කිරීම සම්බන්ධයෙන් අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා මෙසේ අදහස් දැක්වී ය. “ගෙලිඔය ප්‍රදේශයේ ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානයක් විවෘත කරමින් එම ප්‍රදේශයේ ජනතාවට අපගේ මානුෂ හිතවාදී සංවර්ධන බැංකුකරණ ආකෘතියේ ප්‍රතිලාභ අත්විඳීමට අවස්ථාව ලබාදීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙවැනි පියවර ඔස්සේ අපගේ මෙහෙවරට සමගාමීව, ප්‍රජාවන්ට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට සහ මූල්‍ය ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව ලබාදීමට අප සෑම විටම උත්සාහ කරනවා.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ඡායාරූප - අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා ගෙලිඔය නව ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කළ අවස්ථාව

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo