පසුගිය කාලය තුළ මුහුණ දීමට සිදු වූ අභියෝගවලට ශක්තිමත් ලෙස මුහුණ දෙමින් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් වීමත් සමග, සිය කාර්ය මණ්ඩලය වෙනුවෙන් සේවක කොටස් හිමිකාරීත්ව සැලසුමක් (Employee Share Option Plan - ESOP) හඳුන්වා දීමට අමානා බැංකුව පියවර ගෙන තිබේ. මේ යටතේ අමානා බැංකුවේ දියුණුවට හා සාර්ථකත්වයට විශිෂ්ට දායකත්වයක් ලබාදුන් සේවක සේවිකාවන්ට බැංකුවේ කොටස් හිමිකර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
සිය ඉතිහාසයේ විශිෂ්ටතම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට අමානා බැංකුව 2022 මූල්‍ය වර්ෂය තුළදී සමත් විය. එම මූල්‍ය වර්ෂය සඳහා අමානා බැංකුවේ බදු-පෙර ලාභය රු. බිලියන 1.21 ක් වූ අතර, එය ඊට පෙර වර්ෂයට සාපේක්ෂව 12% ක වර්ධනයකි. මෙම වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියටත් පවත්වා ගැනීමට අමානා බැංකුව බලාපොරොත්තු වෙයි.
මෑතකදී පවත්වන ලද අතිවිශේෂ මහා සභා රැස්වීමකදී කොටස් හිමියන්ගේ අනුමැතිය ලබාගැනීමෙන් සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිසි පරිදි දැනුම්දීමක් සිදුකිරීමෙන් අනතුරුව මෙම සේවක කොටස් හිමිකාරීත්ව සැලසුම ප්‍රකාශයට පත්කරන ලදි. මෙමගින් බැංකුවේ කොටස් හිමිකරගෙන, එහි වර්ධනයට සාපේක්ෂව ප්‍රතිලාභ හිමිකරගැනීමට, ඒ සඳහා සුදුසුකම් ලබන සේවක සේවිකාවන්ට අවස්ථාව හිමි වේ.
මේ යටතේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 83,518,485 දක්වා නිකුත් කිරීමට අමානා බැංකුව බලාපොරොත්තු වෙයි. මෙය සේවක කොටස් හිමිකාරීත්ව සැලසුමට පෙර නිකුත් කර තිබූ කොටස් ප්‍රමාණයෙන් 3% කි.
මේ සම්බන්ධයෙන් අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ අදහස් දැක්වී ය. “පසුගිය කාලය මුහුණ දීමට සිදු වූ අතිශය දුෂ්කර හා අභියෝගකාරී වාතාවරණයන් හමුවේ පවා, විශේෂයෙන්ම පසුගිය වසර කිහිපය තුළ, විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට අමානා බැංකුව සමත් වී තිබෙනවා. මෙය අපගේ කොටස් හිමියන් සියලුම දෙනාගේ ප්‍රශංසාවට ලක්වූ දෙයක්. මේ සාර්ථකත්වයට දායක වූ අපගේ කාර්ය මණ්ඩලයට අප බෙහෙවින් කෘතඥ වෙනවා. සේවක කොටස් හිමිකාරීත්ව සැලසුමක් යනු, බැංකුවේ සාර්ථකත්වයේ කොටස්කරුවන් බවට පත්වීමට කාර්ය මණ්ඩලයට ලැබෙන අගනා අවස්ථාවක්. මෙවැනි සාර්ථකත්වයක් අත්කර ගැනීමට අපට හැකි වුණේ ඔවුන්ගේ දැනුම හා පළපුරුද්ද මෙන්ම උනන්දුව හා කැපවීම නිසයි. මෙම වැඩසටහන, හිමිකාරිත්වයේ සහ වගවීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා අප දක්වන කැපවීමට මනා සාක්ෂියක් ලෙසත් හැඳින්විය හැකියි.”
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය, එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.