අමානා බැංකුව පසුගියදා පැවැත්වූ අතිවිශේෂ මහා සභා රැස්වීමේදී, ඉදිරියේදී පැවැත්වීමට නියමිත හිමිකම් නිකුතුව සඳහා බැංකුවේ කොටස් හිමියන්ගේ අනුමැතිය ලබාදීම පිළිබඳ යෝජනාව ඒකමතිකව සම්මත විය. ඒ අනුව, දැනට නිකුත් කර ඇති සෑම කොටසකටම එක් නව කොටසක් වශයෙන්, කොටසක් රු. 2.30 බැගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 2,902,267,365 නිකුත් කිරීමට අනුමැතිය හිමි වී තිබේ. මෙමගින් රැස්කරගනු ලබන රු. බිලියන 6.7 මගින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති රු. බිලියන 20 ක අවම ප්‍රාග්ධන අවශ්‍යතා සීමාව සපුරාලීමට අමානා බැංකුව බලාපොරොත්තු වෙයි. තවද අමතර හිමිකම් සඳහා අයදුම් කරන සියලුම දෙනා වෙනුවෙන් කොටස් වෙන් කිරීමෙන් අනතුරුව, කොටස් හිමිකරුවන් විසින් භාරගනු නොලබන කොටස්, එලෙස දායකත්වයක් හිමි නොවූ කොටස් සඳහා අයදුම් කරන නෛතික ආයතන ඇතුළුව ඕනෑම පාර්ශ්වයක් වෙත ලබාදීමටද තීරණය කරන ලදී.
හිමිකම් නිකුතුවේ හිමිකම් රහිත පළමු දිනය (XR date) ලෙස සැප්තැම්බර් 22 දින නියම කර ඇති අතර, වාර්තා කිරීමේ සහ හිමිකම් කොටස් ලබාදීමේ (Recording and provisional allotment) දිනය සැප්තැම්බර් 26 ලෙස නියම කර ඇත. හිමිකම් කොටස් ලබාදීමට අදාළ ලිපි ඔක්තෝබර් 05 දින වන විට නිකුත් කිරීමට අමානා බැංකුව බලාපොරොත්තු වෙයි. කොටස් අලෙවිය ඔක්තෝබර් 11 දින ආරම්භ වන අතර, CDS වෙත හිමිකම් අත්හැරීමේ (Renunciation to the CDS) අවසන් දිනය ඔක්තෝබර් 18 ලෙස නියම කර ඇත. හිමිකම් නිකුතුවට අදාළ ගෙවීම් භාරගැනීම ඔක්තෝබර් 24 දින දක්වා සිදුකෙරේ.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.