අමානා බැංකුව සපුරාලිය යුතු අවම ප්‍රාග්ධන අවශ්‍යතා සම්බන්ධයෙන් ඉහළ නංවන ලද රෙගුලාසිමය සීමාවන් සපුරා ගැනීම සඳහා සිදුකරන ලද හිමිකම් නිකුතුවේ සාර්ථකත්වයත් සමග, අමානා බැංකුව පසුගියදා සිය හිමිකම් නිකුතුව කොටස් කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කළේ ය. මෙහිදී කොටස් වෙළඳපොළ සීනුව නාද කිරීමෙන් අනතුරුව එහි වෙළඳපොළ ගනුදෙනු කටයුතු ආරම්භ වූ අතර, මෙම අවස්ථාවට අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩිල්ශාන් හෙට්ටිආරච්චි, කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජේවර්ධන සහ ලැයිස්තුගත කිරීම් ප්‍රධානී කනිෂ්කා මුණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළුව දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
මෑතකදී සිදුකෙරුණු විශාලතම හිමිකම් නිකුතුවක් ලෙස මෙමගින් රු. බිලියන 6 ක අරමුදලක් රැස්කර ගැනීමට අමානා බැංකුව සමත් විය. මීට පෙර අමානා බැංකුවේ කොටස් මිලදීගෙන තිබූ කොටස් හිමිකරුවන් මෙන්ම නව ගැනුම්කරුවන්ද කොටස් මිලදී ගත් අතර, ඊට දේශීය හා විදේශීය සමාගම් මෙන්ම ඉහළ ශුද්ධ වත්කම් හිමි ආයෝජකයන්ද ඇතුළත් විය.
මෙම අවස්ථාවට සහභාගී වූ පිරිස පිළිගනිමින් කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා මෙසේ අදහස් දැක්වී ය. “අමානා බැංකුව සඳහා යළිත් වරක් සිය ප්‍රාග්ධනය රැස්කර ගැනීමට අවස්ථාවක් සලසා දීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. ලැයිස්තුගත වී සිටි සමාගම් තවදුරටත් ප්‍රාග්ධනය රැස්කර ගැනීම සඳහා මේ ආකාරයට නැවත වෙළඳපොළට පැමිණීම සතුටට කරුණක්. මේ හිමිකම් නිකුතුව තුළින් රු. බිලියන 6 ක මුදලක් රැස්කර ගැනීමට හැකි වීම, කොටස් හිමිකරුවන් අමානා බැංකුව කෙරෙහි රඳවා ඇති විශ්වාසයට තවදුරටත් සාක්ෂි දරනවා. මෙම කොටස් නිකුතුව සම්බන්ධයෙන් දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ද උනන්දු වනු අප දුටුවා. ලැයිස්තුගත සමාගම්වලට විදේශ අයෝජකයන්ගේ දායකත්වය අවශ්‍ය වී ඇති තත්ත්වයක් තුළ මෙය විශේෂයෙන්ම වැදගත් කරුණක්.”
උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරමින් අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ පැවසී ය. “මේ ගමන්මගේදී අප සමග අත්වැල් බැඳගත් සියලුම දෙනාට අපගේ ස්තූතිය මෙසේ පිරිනමනවා. මෙහිදී විශේෂයෙන්ම අපගේ මහා පරිමාණ ආයෝජකයන් සහ නව ආයෝජකයන් වන IsDB Group, Senthilverl Holdings සහ ඔමාර් හා කාසිම් යන ව්‍යාපාරික පවුල්වල සාමාජිකයන් සිහිපත් කිරීමට කැමතියි. අප කෙරෙහි ඔබ රඳවා ඇති මේ විශ්වාසය අප තවතවත් දිරිගන්වනවා. ඉදිරියේදී අපගේ කොටස් හිමිකරුවන්ගේ, ගනුදෙනුකරුවන්ගේ සහ සමස්තයක් ලෙස රටේම දියුණුව හා සෞභාග්‍යය උදෙසා වඩාත් පුළුල් ලෙස දායක විය හැකි ආකාරයට අමානා බැංකුව තවතවත් ශක්තිමත් කිරීමට අපි සාමූහිකව කැප වෙමු. අමානා බැංකුව තම ඉදිරි ගමනේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන මේ මොහොතේ, අපගේ ක්‍රමෝපායික වැඩසටහන් තවතවත් දියුණු කිරීමට, අපගේ ආවරණ පරාසය පුළුල් කිරීමට සහ අපගේ කොටස් හිමියන් සඳහා තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමට මෙම නිකුතුව හරහා රැස් කරගත් අරමුදල් උපකාරී වේවි.”
අමානා බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ අදහස් පළකළේ ය. “අපගේ හිමිකම් නිකුතුව සාර්ථකව සමාප්තිය කරා ගෙන යන මේ මොහොතේ, අප කෙරෙහි රැඳවූ විශ්වාසය වෙනුවෙන් අපගේ කොටස් හිමියන්ටත්, අප වෙත ලබාදුන් සහයෝගය හා මගපෙන්වීම වෙනුවෙන් නියාමන අංශවලටත් අපගේ ස්තූතිය පළකිරීමට මා කැමතියි. ඉදිරියේදී තවතවත් දියුණුව කරා යමින් අපගේ පූර්ණ හැකියාවන් වෙත ළඟා වන අතරම, ආයෝජකයන් අප කෙරෙහි රැඳවූ විශ්වාසය සුරකිමින්, කොටස් හිමියන්ට උපරිම වටිනාකම් තිළිණ කිරීම අපගේ ඉලක්කයයි.”
කොළඹ කොටස් වෙළඳපොළ පිළිබඳව
ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළඳපොළ මෙහෙයවනු ලබන්නේ කොළඹ කොටස් වෙළඳපොළ හෙවත් Colombo Stock Exchange (CSE) මගිනි. සමාගම්වලට සහ ආයෝජකයන්ට එක්ව කටයුතු කළ හැකි ආකාරයේ විනිවිදභාවයක් හා නියාමනයක් සහිත පසුබිමක් නිර්මාණය කිරීමේ වගකීම එය සතු ය. CSE ශ්‍රී ලංකාවේ නීති යටතේ ස්ථාපිත ඇපකරයෙන් සීමා වූ සමාගමකි. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍ර සහිතව ක්‍රියාත්මක වන එය, සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සහ වෙළඳ සාමාජිකයන් 13 දෙනෙකුගෙන් සමන්විත අන්‍යෝන්‍ය හුවමාරුවකි. මෙම සියලුම සාමාජිකයන්ට, කොටස් තැරැව්කරුවන් ලෙස කටයුතු කිරීම සඳහා එම කොමිෂන් සභාව මගින් බලපත්‍ර නිකුත් කර තිබේ. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.cse.lk
අමානා බැංකුව පිළිබඳව
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන, IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2023 වර්ෂයේ ඔක්තිබර් මාසයේදී Fitch Ratings මගින් අමානා බැංකුව වෙත BB+(lka) ස්ථාවර ස්වරූපයක් යන ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිය පිරිනමන ලදි.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. OrphanCare භාරය යනු අවුරුදු 18 සම්පූර්ණ වී ළමා නිවාසවලින් පිටව යාමට සිදුවන දරුවන්ගේ යහපත වෙනුවෙන් පිහිටුවන ලද ස්වාධීන භාර අරමුදලකි. වෙනස් කොට සැලකීම පිටුදැකීම ඉලක්ක කරගත් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 2 වැනි වගන්තිය තුළින් පන්නරය ලබන මෙම අරමුදල, සමාජ සේවය පිළිබඳව දීර්ඝකාලීන පළපුරුද්දක් ඇති භාරකරුවන් පිරිසක් මගින් පාලනය වේ.
ඡායාරූපය: (වමේ සිට) - අමානා බැංකුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩිල්ශාන් හෙට්ටිආරච්චි, කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජේවර්ධන, අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි, අමානා බැංකුවේ කොටස් හිමිකරු ආචාර්ය ටී. සෙන්දිල්වේල්, අමානා බැංකුවේ කොටස් හිමිකරු අස්ලාම් ඔමාර්, අමානා බැංකුවේ කොටස් හිමිකරු නන්දන් සෙන්දිල්වේල්, සහ කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කිරීම් ප්‍රධානී කනිෂ්කා මුණසිංහ යන මහත්ම මහත්මීන්