• Amãna Bank PLC Blog Detail - Main Visual

කැබිතිගොල්ලෑව සූර්ය බලශක්ති ව්‍යාපෘතිය බලගැන්වීමට අමානා බැංකුවේ මූල්‍ය සහය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරමින් කාන්තාවන් සවිබල ගැන්වීමට ප්‍රමුඛත්වය

අමානා බැංකුව November 19, 2024

අමානා බැංකුව පසුගියදා විවෘත වූ කැබිතිගොල්ලෑව මෙගාවොට් 10 සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට ඉදිරිපත් විය. WindForce PLC මගින් ක්‍රියාවට නංවනු ලබන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. මෙය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කාන්තාවන්ගෙන් පමණක් සමන්විත තාක්ෂණික කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන ප්‍රථම බලශක්ති ව්‍යාපෘතිය ලෙස සැලකේ.

මෙම ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව හඳගල ප්‍රදේශයේ අක්කර 35 ක භූමි ප්‍රදේශයක පිහිටා තිබේ. මෙමගින් සෑම වසරකදීම 20.24 GWh ක පරිසර හිතකාමී විදුලි බලයක් නිෂ්පාදනය වනු ඇත. එලෙස ජනනය වන විදුලිය මෙරට ජාතික විදුලි බල පද්ධතියට එක් කරමින් කිලෝමීටර් 12 ක් දිග නව සම්ප්‍රේෂණ රැහැනක් ඔස්සේ කැබිතිගොල්ලෑව සහ වවුනියාව උප පොළ වෙත බෙදාහරිනු ලැබේ.

මෙම ව්‍යාපෘතිය මෙරට තුළ පරිසර හිතකාමී බලශක්ති භාවිතය පුළුල් කිරීම සම්බන්ධයෙන් මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ කාන්තා නායකත්වය සම්බන්ධයෙන් සුවිශේෂී ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය සඳහා කාන්තාවන්ගෙන් සමන්විත තාක්ෂණික කණ්ඩායමක් යෙදවීමට WindForce PLC සමාගම තීරණය කිරීම, පරිසර හිතකාමී බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා කාන්තාවන් ඉටුකරන කේන්ද්‍රීය භූමිකාව මැනැවින් පෙන්වා දෙන පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.

ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියේ පරිසර හිතකාමීත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් අමානා බැංකුව මීට පෙරද සූර්ය බලය, ජල විදුලි බලය, ජෛවස්කන්ධ සහ සුළං බලය භාවිතා කරන හරිත බලශක්ති ව්‍යාපෘති රැසකට සහයෝගය ලබාදීමට කටයුතු කළේ ය. මෑතකදී හොරණ ප්‍රදේශයේදී විවෘත කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

“කැබිතිගොල්ලෑව සූර්ය බලශක්ති ව්‍යාපෘතියට සහය දැක්වීම යනු, ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්ති භාවිතය සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් අමානා බැංකුවේ කැපවීම තහවුරු කරන මනා සාක්ෂියක්. මෙය හුදෙක් තවත් එක් පරිසර හිතකාමී බලශක්ති ව්‍යාපෘතියක් පමණක් නොව, රටේ ප්‍රධාන කර්මාන්තයක් තුළ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා තබන ලද වැදගත් ඉදිරි පියවරක් ලෙසත් හැඳින්විය හැකියි. එවැනි ව්‍යාපෘතියක කොටස්කරුවෙකු වීමට හැකි වීම අපට ගෞරවයක්. අමානා බැංකුව සෑම විටම උත්සාහ කරන්නේ, පරිසරයටත් සමාජයටත් යහපත් සිදුවන ආකාරයේ තිරසාර යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා මූල්‍ය පහසුකම් සලසමින් වඩාත් පරිසර හිතකාමී අනාගතයක් නිර්මාණය කිරීම උදෙසා දායක වීමටයි.” අමානා බැංකුවේ උප සභාපති (ව්‍යාපාරික බැංකුකරණ) ඉර්ෂාඩ් ඉක්බාල් මහතා පැවසී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ඡායාරූපය (වමේ සිට) ඉංජිනේරු එල්. එච්. රංජිත් සේපාල (ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති), ලලිත් හේවාගම (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ආයතනික මූල්‍ය, Wind Force PLC), මංජුල පෙරේරා (කළමනාකාර අධ්‍යක්ෂ - Wind Force PLC), රුසිරි කුරේ (ප්‍රධාන මූල්‍ය නිලධාරී - Wind Force PLC), ඉර්ෂාඩ් ඉක්බාල් (උප සභාපති - ව්‍යාපාර බැංකුකරණ, Amana Bank PLC), රාජේන්ද්‍ර ජයසිංහ (සහකාර උප සභාපති - ආයතනික බැංකුකරණ, Amana Bank PLC) සහ චමිල පොතුපිටිය (පාරිභෝගික සම්බන්ධතා කළමනාකරු - ව්‍යාපාරික බැංකුකරණ අංශය, Amana Bank PLC) යන මහත්ම මහත්මීන්

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo