අමානා බැංකුව තම වර්ධන ප්‍රවණතාව තවදුරටත් පවත්වා ගනිමින්, 2021 සැප්තැම්බර් මස 30 දිනෙන් අවසන් වූ මාස 9 ක කාලය තුළ සිය බදු-පෙර ලාභයේ 89% ක වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ රු. මිලියන 389.4 ක් වූ එම බදු-පෙර ලාභය, මෙම වසරේදී රු. මිලියන 736.3 දක්වා ඉහළ ගොස් තිබේ. රටේ COVID-19 තත්ත්වය නිසා දී බලපෑමට ලක් වූ 3 වන කාර්තුව තුළ අමානා බැංකුවේ බදු පෙර ලාභය, පෙර වසරේ අදාළ කාල සීමාව තුළ වාර්තා කරගත් රු. මිලියන 138.9 ට සාපේක්ෂව, මෙම වසරේදී රු. මිලියන 230.6 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 66% ක වර්ධනයකි. 3 වන කාර්තුව තුළ බදු-පසු ලාභය රු. මිලියන 143.9 ක් වන අතර, එය පසුගිය වසරට සාපේක්ෂවව 80% ක වර්ධනයක් ලෙස වාර්තා වේ. මේ අනුව, 2021 සැප්තැම්බර් මස 30 දිනෙන් අවසන් වූ මාස 9 ක කාලය සඳහා අමානා බැංකුවේ සමුච්චිත බදු-පසු ලාභය, පෙර වසරට සාපේක්ෂව 73% කින් වර්ධනය වී ඇති අතර එය රු. මිලියන 433.2 ක් ලෙස වාර්තා වී ඇත.
අත්තිකාරම් සහ තැන්පතු සම්බන්ධයෙන්ද අමානා බැංකුව සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. පාරිභෝගිකයන් වෙත නිකුත් කළ අත්තිකාරම් ප්‍රමාණය 17% කින් වර්ධනය වී, රු. බිලියන 73.2 ක් බවට පත්වී ඇති අතර, පාරිභෝගික තැන්පතු ප්‍රමාණය 10% කින් වර්ධනය වී රු. බිලියන 91.8 ට ළඟා වී ඇත. මෙය Covid-19 හමුවේ පවා පසුගිය කාර්තු 3 තුළ පැහැදිලි වර්ධන ප්‍රවණතාවක් පවත්වා ගැනීමට බැංකුව සමත් වී ඇති බවට මනා සාක්ෂියකි. 46.2% ක යහපත් ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් අනුපාතයක් (CASA ratio) පවත්වා ගනිමින් පාරිභෝගික තැන්පතු වල වර්ධනයක් වාර්තා කිරීමට බැංකුවට හැකියාව ලැබී ඇත. බැංකුවේ අක්‍රීය වත්කම් අනුපාතයද, ක්ෂේත්‍රයේ සාමාන්‍ය අගයට වඩා පහළ මට්ටමක පවතී. කාර්යක්ෂම කළමනාකරණය සහ ගනුදෙනුකරුවන් සමග කාලීනව සම්බන්ධ වීම යන සාධක ඔස්සේ, දළ අක්‍රීය වත්කම් අනුපාතය සහ ශුද්ධ අක්‍රීය වත්කම් අනුපාතය පිළිවෙළින් 3.7% ක් සහ 1.0% ක් ලෙස පවත්වා ගැනීමට අමානා බැංකුවට හැකි වී ඇත. අදාළ කාලසීමාව තුළ බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම 14% කින් වර්ධනය වී රු. බිලියන 113. 7 ක් බවට පත්වී ඇති අතර, බැංකුවේ කොටසක් සඳහා ශුද්ධ වත්කම් වටිනාකම රු. 4.79 සිට රු. 4.96 දක්වා වර්ධනය වී තිබේ.
බැංකුවේ අත්තිකාරම් දීම් වර්ධනය වීම සහ සමබර අඩු වියදම් තැන්පතු සේවා එකතුවක් පවත්වාගෙන යාම යන සාධක හේතුවෙන්, එහි ශුද්ධ මූල්‍ය සම්පාදන ආදායම අදාළ මාස 9 ක කාලය තුළ 36% කින් වර්ධනය වී රු. බිලියන 3.17 ක් බවට පත්වී ඇත. මින් රු. බිලියන 1.18 ක්ම වාර්තා වී ඇත්තේ 3 වන කාර්තුව තුළදී ය. අක්‍රීය අත්තිකාරම් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව බැංකුවේ ශුද්ධ මෙහෙයුම් ආදායම රු. බිලියන 2.90 ක් ලෙස වාර්තා වන අතර, මෙය පෙර වසරට සාපේක්ෂව 13% ක වර්ධනයකි. 2020 සැප්තැම්බර් මාසයේ සිට අඛණ්ඩව තම මෙහෙයුම් වියදම් අවම කරගැනීමට බැංකුව පියවර ගනිමින් සිටින නිසා, එහි වියදම් හා ආදායම් අතර අනුපාතය යහපත් ලෙස වර්ධනය වී තිබේ. 2020 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 9 තුළ මෙහෙයුම් වියදම් 3% කින් අඩුකර ගන්නා අතරම, ආදායම සම්බන්ධයෙන් වාර්තා කරගත් වර්ධනයන් හේතුවෙන්, මූල්‍ය සේවාවන් සඳහා අයකරනු ලබන VAT බදු වලට පෙර බැංකුවේ මෙහෙයුම් ලාභය, පෙර වසරේ මුල් මාස 9 ට සාපේක්ෂව 63% කින් වර්ධනය වී රු. බිලියන 1 ක් බවට පත්වී තිබේ. 3 වන කාර්තුව සඳහා බැංකුවේ සමස්ත බදු දායකත්වය රු. මිලියන 570.7 ක් වන අතර, මෙය සියලු බදු වලට පෙර බැංකුවේ මෙහෙයුම් ආදායමෙන් 57% කි.
දිගින් දිගටම ලාභ ලැබීම නිසා අඛණ්ඩව සිව් වැනි වරටත් ලාභාංශ ගෙවීමට අමානා බැංකුව කටයුතු කළ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගොපදේශයන්ට අනුව කොටස් ලාභාංශ ගෙවීමක් ලෙස මෙය සිදුකරන ලදි. ඒ අනුව රු. මිලියන 260.1 ක වටිනාකමකින් යුත් කොටස් ලාභාංශ ගෙවීමක් සිදුකරන ලද අතර, මෙය මීට පෙර සිදුකරන ලද ලාභාංශ ගෙවීමට සාපේක්ෂව, වටිනාකම අතින් 30% ක වර්ධනයකි. එමෙන්ම අභියෝගකාරී ආර්ථික තත්ත්වයන් හමුවේ පවා පෙන්නුම් කළ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සැලකිල්ලට ගනිමින් Fitch Ratings ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+ with a stable outlook’ ලෙස තහවුරු කළේ ය.
විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළුව COVID-19 නිසා බලපෑමට ලක්වූ ගනුදෙනුකරුවන්ට සහන සැලසීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් යෝජනා කරන ලද සහන විධිවිධාන ක්‍රියාවට නැංවීමෙන් නොනැවතී, තම සුවිශේෂී බැංකුකරණ ක්‍රමවේදයේ වටිනාකම් අනුව යමින් අතිරේක සහනද ක්‍රියාවට නැංවීමට අමානා බැංකුව කටයුතු කළේ ය. වැටුප් අත්තිකාරම්, පහසුකම් ප්‍රතිව්‍යුහගතකරණය සහ දඩ මුදල් අයකිරීමෙන් වැළකීම වැනි විධිවිධාන රැසක් මීට ඇතුළත් විය.
මෙම කාලසීමාවට අදාළව වාර්තා වූ සාර්ථක මූල්‍ය ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසී ය. “ආර්ථිකයේ පුනර්ජීවනයට විශාල බාධාවක් වූ තුන්වැනි COVID-19 රැල්ලේ බලපෑම් හමුවේ පවා, නැවත වරක් තම ශක්තිය ප්‍රදර්ශනය කරමින් විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට අමානා බැංකුව සමත් වී තිබෙනවා. මේ සාර්ථකත්වය ළඟා කරගැනීමට අපට හැකියාව ලැබුණේ අපගේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මගපෙන්වීම, කාර්ය මණ්ඩලයේ කැපවීම සහ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තැබූ නොසැලෙන විශ්වාසය යන සාධක නිසයි. ඒ වෙනුවෙන් ඔවුන් සැමදෙනාටම මගේ ස්තූතිය මා මෙසේ පළකර සිටිනවා. 2021 වර්ෂයේ අවසානය ළඟා වෙමින් පවතින මේ මොහොතේ, නැවතත් ශක්තිමත් වන ආර්ථිකයෙන් ප්‍රතිලාභ ලබමින් දිගින් දිගටම සාර්ථක ප්‍රතිඵල වාර්තා කරගැනීමට අමානා බැංකුවට හැකිවනු ඇති බව මට විශ්වාසයි.”
2021 අගෝස්තු 01 දින අමානා බැංකුව සිය ජනතාවාදී බැංකුකරණ ආකෘතියේ 10 වන සංවත්සරය අභිමානයෙන් සැමරී ය. මෙම කාලය තුළ බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. බිලියන 100 සීමාව පසුකළ අතර, ගනුදෙනුකරුවන් 380,000 කට අධික පිරිසකගේ දියුණුව හා යහපැවැත්ම ළඟා කර දීමටද බැංකුව සමත් වී තිබේ. මෙම සාර්ථකත්වය නිසාම ඇමරිකා එක්සත් ජනපදයේ ‘Global Finance’ සඟරාව වෙතින් ‘ලොව විශිෂ්ටතම නැගී එන ඉස්ලාමික බැංකුව’ සම්මානය මෙන්ම, එක්සත් රාජධානියේ ‘Global Banking and Finance’ සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන පාරිභෝගික බැංකුව’ සම්මානයද දිනා ගැනීමට අමානා බැංකුව සමත් විය. එමෙන්ම පරිපූර්ණ සහ දැඩි ඇගයුම් ක්‍රියාවලියකින් අනතුරුව, බැංකුවේ ශේෂ පත්‍රයේ ශක්තිය සහ වත්කම් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින්, The Asian Banker විසින් අමනා බැංකුව ලෝකයේ විශිෂ්ටතම ඉස්ලාමික බැංකු 100 ලැයිස්තුවට ඇතුළත් කරන ලදි.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2020 ඔක්තෝබර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.