අමානා බැංකුව (Amana Bank PLC) අංක 353, ගාලු පාර, කොළඹ 03 දරන ස්ථානයේ පිහිටි සිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රය Lee Hedges PLC වෙතින් මිලදීගැනීමට කටයුතු කළේය. අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා, එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හා කළමනාකරණ කමිටුවේ සාමාජිකයින් සහ Lee Hedges PLC සමාගමේ අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව මෙම දේපළ හිමිකම් පැවරීමේ කටයුතු සිදුකරන ලදි.
පර්චස් 95 ක භූමිභාගයක පිහිටි මෙම දේපළ පරිශ්‍රය, නවීන පහසුකම් සහිත වර්ග අඩි 50,000 ක පමණ පස් මහල් කාර්යාල සංකීර්ණයකින් මෙන්ම, පහළම මහලේ (Basement) සහ එළිමහනේ වාහන නැවැත්වීමේ පහසුකම්වලින්ද සමන්විතය. 2025 ඔක්තෝබර් මාසයේ සිට බදු පදනම මත මෙම පරිශ්‍රයේ සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගිය අමානා බැංකුව මේ වන විට එහි පූර්ණ හිමිකාරීත්වය ලබාගෙන ඇති අතර, මෙය බැංකුවේ ඉදිරි ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ පැවසීය: "මින් ඉදිරියට අපගේ ප්‍රධාන කාර්යාලය සඳහා ස්ථිර ස්ථානයක් අපට ලැබී තිබෙනවා. මෙය අමානා බැංකුවේ ඉදිරි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම අප අත්කරගෙන ඇති විශිෂ්ට ප්‍රගතිය සංකේතවත් කරන ජයග්‍රහණයක් ලෙසද හැඳින්විය හැකියි. සංවර්ධනය කේන්ද්‍ර කරගත් අපගේ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියේ ශක්තිය, ගනුදෙනුකරුවන් හා කොටස් හිමියන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය මෙන්ම අපගේ කාර්ය මණ්ඩලයේ නොසැලෙන උනන්දුව හා කැපවීම හේතුවෙන් මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට අපට හැකි වුණා. මින් ඉදිරියට මෙම ප්‍රධාන කාර්යාල පරිශ්‍රය, අපගේ ශක්තිය, ස්ථාවරත්වය සහ වර්ධනය මෙන්ම, සංවර්ධනයට අත්වැලක් සහ ඉසුරුමත් ජීවිතයක් සහතික කිරීම සඳහා අප තුළ ඇති කැපවීම මැනැවින් නිරූපණය කරන සංකේතයක් බවට පත් වීම නිසැකයි.”
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
ඡායාරූපය 01: අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා Lee Hedghes PLC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එම්. එච්. ජමාල්ඩීන් මහතා අතින් දේපළ හිමිකම් ඔප්පුව ලබාගත් අවස්ථාව. අමානා බැංකුවේ සහ Lee Hedges PLC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලවල සාමාජිකයන් පිරිසක්ද ඡායාරූපයෙහි වෙති.
ඡායාරූපය 02: අමානා බැංකුවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය