• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව ‘Emerging Asia Banking Awards 2025’ හිදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව ලෙස කිරුළු පළඳී

අමානා බැංකුව September 3, 2025

ඉන්දියානු වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද ‘Emerging Asia Banking Awards 2025’ හිදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව සඳහා පිරිනැමෙන 'Best Bank in Sri Lanka’ සම්මානයෙන් පිදුම් ලැබීමට අමානා බැංකුව පසුගියදා සමත් විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු රැසක් මෙම සම්මානය සඳහා තරග වැදුණු අතර, එය අමානා බැංකුව වෙත හිමි වීම මගින් පෙනී යන්නේ පසුගිය වසර තුනක කාලය තුළ පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් ඔස්සේ තමන් අනුගමනය කරන පොලිය මත පදනම් නොවූ, මානුෂ හිතවාදී හා සංවර්ධනය මූලික කරගත් බැංකුකරණ ආකෘතිය සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රසාදය දිනාගැනීමට බැංකුව සමත් වී ඇති බවයි.

මෙම සම්මානයට අමතරව Emerging Asia Banking Awards 2025 හිදී වත්කම් ගුණාත්මකභාවය උදෙසා හිමි වන ‘Best Performance on Asset Quality’ සම්මානය දිනාගැනීමටද අමානා බැංකුවට හැකියාව ලැබිණි. සුපරීක්ෂාකාරී ණය කළමනාකරණය, විචක්ෂණශීලී අවදානම් තක්සේරුව සහ මූල්‍යමය අභියෝගවල මුහුණ දීමේ හැකියාව ඔස්සේ වත්කම් ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විශිෂ්ටතම කාර්යසාධනයක් පවත්වා ගැනීම වෙනුවෙන් එම සම්මානය හිමි විය.

ඉන්දියානු වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද Emerging Asia Banking Awards 2025 සම්මාන උළෙල කලාපයේ මූල්‍ය සේවා අංශයේ ඉහළම තලයේ සම්මාන උළෙලක් ලෙස සැලකේ. බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය ඇතුළු ‘The Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation’ (BIMSTEC) රටවල සමාගම් හා ආයතන මෙම සම්මාන සඳහා සලකා බලනු ලබයි. PwC මෙහි ක්‍රියාවලි සමාලෝචකයෙකු (Process Reviewer) ලෙස කටයුතු කිරීම තුළින් ඇගයීම් ක්‍රියාවලිය තුළ සාධාරණත්වය, විනිවිදභාවය සහ නිරවද්‍යතාව සහතික කෙරේ. සම්මාන උළෙලේ ‘විශිෂ්ටතම බැංකුව’ කාණ්ඩයේ ජයග්‍රහකයා තීරණය කිරීමේදී PwC විසින් මුළු වත්කම්, අත්තිකාරම්, තැන්පතු, ජංගම හා ඉතුරුම් ගිණුම්, කාලීන තැන්පතු, මූල්‍ය පහසුකම් තුළින් ලබන ආදායම, බදු පසු ලාභය, අක්‍රීය වත්කම්, ද්‍රවශීලතා ආවරණ අනුපාත සහ හරිත මූල්‍යකරණය ඇතුළු සාධක රැසක් සැලකිල්ලට ගන්නා ලදි.

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවති මෙම සම්මාන උළෙලට අමානා බැංකුව නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති/ප්‍රධාන අවදානම් නිලධාරී එම්. එම්. එස්. කුවිලිද් මහතා සහභාගී විය. කලාපීය වශයෙන් විශාල වැදගත්කමක් උසුලන මෙම සම්මාන උළෙලට ශ්‍රී ලංකාව ලබාදෙන දායකත්වය නියෝජනය කරමින් වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමය [Association of Professional Bankers (APB)] මෙහි ශ්‍රී ලාංකික හවුල්කරුවන් ලෙස කටයුතු කළේය.

සම්මාන උළෙලට පෙර ‘From Responsible AI to SME Growth & Wealth Portfolios — witness the Great Banking Leap of the BIMSTEC Region’ යන තේමාව යටතේ ‘Emerging Asia Banking Conclave’ නමින් විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා නැගී එන ආර්ථිකයන්හි සන්දර්භය තුළ බැංකු ක්ෂේත්‍රය මුහුණ දෙන තොරතුරු තාක්ෂණය සම්බන්ධ අවදානම් පිළිබඳ දේශනයක් පැවැත්වූ අතර, තවත් ප්‍රමුඛ පෙළේ වෘත්තිකයන් කිහිප දෙනෙකුම එහිදී අදහස් දැක්වූහ.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ පැවසීය. “Emerging Asia Banking Awards 2025 හිදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව බවට පත් වීම අපගේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක්. මෙය අපට අනන්‍ය වූ පොලී රහිත බැංකුකරණ ආකෘතියේ ඔරොත්තු දීමේ හැකියාව, අපගේ පාලන රාමුවල ශක්තිමත්භාවය සහ මූල්‍ය ක්ෂේත්‍රය තුළ අප දිනාගෙන ඇති විශ්වාසය පිළිබඳ ප්‍රබල සාක්ෂියක් ලෙස හැඳින්වීමට පුළුවන්. සාපේක්ෂව කෙටි ඉතිහාසයක් ඇති බැංකුවක් ලෙස, මෙම සම්මානය අපගේ සාර්ථකත්වය යළි තහවුරු කරන අතරම, අප සමග අත්වැල් බැඳගැනීමට ආයෝජකයන් දිරිගන්වන සාධකයක් ලෙසද මා දකිනවා. ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ පරිවර්තනීය බලවේගයක් ලෙස අමානා බැංකුව ස්ථානගත කිරීම සඳහා දිගින් දිගටම කැපවීමට අප සූදානම්.”

අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මෙසේ පැවසීය. “Emerging Asia Banking Awards 2025 හිදී මෙම සම්මානය හිමි වීම, අපගේ ජනතා හිතකාමී හා සංවර්ධනය කේන්ද්‍ර කරගත් බැංකු ආකෘතියේ ශක්තියට මෙන්ම අපගේ ගනුදෙනුකරුවන් සහ පාර්ශ්වකරුවන් වෙනුවෙන් අප තිළිණ කරන වටිනාකම්වලට මනා සාක්ෂියක්. එමෙන්ම අපගේ කණ්ඩායමේ උද්‍යෝගය හා කැපවීම මෙන්ම අපගේ ගනුදෙනුකරුවන් හා පාර්ශ්වකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය මෙමගින් මැනැවින් පිළිබිඹු වනවා. මේ ජයග්‍රහණයේ සතුට සමරන අතරම, ‘සංවර්ධනයට අත්වැලක් ඉසුරුමත් ජීවිතයක්’ යන මෙහෙවර ඔස්සේ දීර්ඝකාලීන ප්‍රගතියට මගපාදන නවෝත්පාදනය, අන්තර්කරණයසහ ආචාරධාර්මික භාවිතයන් තුළින් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ අනාගතය හැඩගැස්වීමට අප සූදානම්.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ඡායාරූපය:අමානා බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ප්‍රධාන අවදානම් නිලධාරී එම්. එම්. එස්. කුවිලිද් මහතා, Reserve Bank of India හි හිටපු විධායක අධ්‍යක්ෂ එස්. ගනේෂ් කුමාර් මහතා අතින් 'Best Bank in Sri Lanka’ සම්මානය ලබාගනිමින්

Featured

My Hajj
2026
අයදුම් කරන්න
Chat on WhatsApp
govpay