• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තඹාල ප්‍රදේශයට පිවිසි ප්‍රථම පෞද්ගලික බැංකුව බවට පත්වෙයි.

Amana Bank February 5, 2026

අමානා බැංකුව සිය මානුෂ හිතවාදී බැංකුකරණ මෙහෙවර තවදුරටත් පුළුල් කරමින් සිය 41 වැනි ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තඹාල ප්‍රදේශයේ විවෘත කළේය. එම ප්‍රදේශයේ මෙබඳු මධ්‍යස්ථානයක් විවෘත කළ ප්‍රථම පෞද්ගලික බැංකුව අමානා බැංකුවයි.

කෘෂිකාර්මික සහ වෙළඳ කටයුතුවල බහුලව යෙදෙන ප්‍රජාවක් සිටින මෙම ප්‍රදේශයේ ජනතාවට දීර්ඝ කාලයක පටන් බැංකු සේවාවන් ලබාගැනීම දුෂ්කර වී තිබිණි. මෙම ගැටලුවට පිළියමක් වශයෙන් අමානා බැංකුව අංක 93 ඒ, අල්. හිලාල් පාර, තඹාල යන ස්ථානයේ මෙම නව ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කළේය.

මෙම මධ්‍යස්ථානය මඟින් ප්‍රදේශයේ ජනතාවට දිනපතා පැය 24 පුරා මුදල් ලබාගැනීම, මුදල් තැන්පත් කිරීම සහ චෙක්පත් තැන්පත් කිරීම වැනි සේවාවන් රැසක් ලබදගත හැකි වේ. මෙය ප්‍රදේශයේ පදිංචි ජනතාවට සහ ජීවනෝපාය මාර්ගවල යෙදෙන්නන්ට සුවිශාල පහසුවක් වනු නිසැකය.

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට අමානා බැංකුවේ සහකාර උප සභාපති (සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ ප්‍රාදේශීය ශාඛා) අර්ෂාඩ් අඩ්නාන්, පාරිභෝගික විකුණුම් සහ සම්බන්ධ කරගැනීම් නාලිකා ප්‍රධානී මොහොමඩ් අස්මිල් සහ කදුරුවෙල ශාඛාවේ කළමනාකරු රසීක් ජිෆ්රි යන මහත්වරු සහභාගී වූහ. එමෙන්ම මෙම අවස්ථාවට ලංකාපුර ප්‍රාදේශීය ලේකම් එච්. එම්. විශාඛා එස්. ජයවර්ධන මහත්මිය, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයින්, තඹාල ජුම්මා මස්ජිද් දේවස්ථානයේ භාරකරුවන්, ප්‍රදේශයේ ව්‍යාපාර නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් අමානා බැංකුවේ සහකාර උප සභාපති (සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ ප්‍රාදේශීය ශාඛා) අර්ෂාඩ් අඩ්නාන් මහතා මෙසේ පැවසීය: "තඹාල යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික කලාපයක් තුළ පිහිටා ඇති, මහවැලි ගඟෙන් පෝෂණය වන, එකිනෙකා සමඟ බෙහෙවින් සමීප ජනතාවක් වෙසෙන ප්‍රදේශයක්. මෙම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම ඔස්සේ මෙහි පදිංචිකරුවන්ට, ගොවීන්ට, වෙළඳුන්ට සහ කුඩා ව්‍යාපාරවලට පැය 24 පුරා සුරක්ෂිත බැංකු සේවා පහසුකම් ලබාදීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙය රටේ ජනතාවගේ ජීවනෝපායන් සඳහා අත්වැලක් වීම, ග්‍රාමීය ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම සහ සැමට විවෘත ජාතික සංවර්ධනයක් වෙනුවෙන් දායක වීම යනාදිය උදෙසා අපගේ කැපවීම මැනැවින් පිළිබිඹු කරනවා."

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

Image 1 Caption:අමානා බැංකුවේ සහකාර උප සභාපති (සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ ප්‍රාදේශීය ශාඛා) අර්ෂාඩ් අඩ්නාන් මහතා ප්‍රමුඛ සම්භාවනීය ආරාධිතයන් විසින් නව ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කළ අවස්ථාව.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo