අමානා බැංකුව පසුගියදා පැවැත්වුණු Emerging Asia Banking Awards 2026 සම්මාන උළෙලේදී ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු සමඟ තරග කරමින් අඛණ්ඩව දෙවැනි වරටත් ‘ශ්රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ඉන්දියානු වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ විනිශ්චය කටයුතු සිදුකරන ලද්දේ PwC විසිනි.
මීට අමතරව විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය සහ වගකීම් සහගත වර්ධනය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමුකිරීම වෙනුවෙන්, ‘අවදානම් කළමනාකරණයේ විශිෂ්ට කාර්යසාධනය’ කාණ්ඩයේ සම්මානයද අමානා බැංකුව වෙත හිමි විය.
මීට පෙර 2025 වසරේ සම්මාන උළෙලේදීද ශ්රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව ලෙස ඇගයීමට පාත්ර වීමට අමානා බැංකුවට හැකියාව ලැබිණි. අඛණ්ඩව දෙවැනි වසරටත් මෙම සම්මානය හිමි වීම, අමානා බැංකුවේ ස්ථාවර කාර්යසාධනය හා ප්රගතිය මෙන්ම, එහි පොලී රහිත, සංවර්ධනය කේන්ද්ර කරගත් සහ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියේ සාර්ථකත්වය තහවුරු කරන සුවිශේෂී ජයග්රහණයක් ලෙස හැඳින්විය හැක.
ඉන්දියානු වාණිජ මණ්ඩලය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Emerging Asia Banking Awards සම්මාන උළෙල මඟින් BIMSTEC කලාපයට අයත් බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්රී ලංකාව සහ තායිලන්තය යන රටවල බැංකු ක්ෂේත්රයේ විශිෂ්ටයන් ඇගයීමට ලක් කෙරේ. එහි විනිශ්චය කටයුතු සිදුකරනු ලබන්නේ PwC මඟිනි. මෙවර සම්මාන උළෙල 4 වැනි ICC Emerging Asia Banking Conclave සමුළුවට සමගාමීව නවදිල්ලියේ Le Meridien Hotel හිදී පැවැත්වුණු අතර, එහි ගරු ආරාධිතයා ලෙස ශ්රී ලංකා මහ බැංකුවේ නියෝජ්ය අධිපති කේ. ජී. පී. සිරිකුමාර මහතා සහභාගී විය.
මෙම ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් අමානා බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසීය:
“අඛණ්ඩව දෙවැනි වසරටත් ශ්රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව ලෙස ඇගයීමට ලක් වීම අපට මහත් සතුටක්. බැංකුවක් ලෙස අප අඛණ්ඩව අත්කරගනිමින් සිටින ප්රගතිය මෙන්ම, අපගේ ගනුදෙනුකරුවන් සහ පාර්ශ්වකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය මෙමඟින් තවදුරටත් තහවුරු වනවා. අවදානම් කළමනාකරණයේ විශිෂ්ට කාර්යසාධනය සඳහා ලැබුණු ඇගයීමත් අපට ඒ හා සමානවම වැදගත්. එය අමානා බැංකුවේ වත්කම්වල පිටුබලය සහිත, මූල්ය විනය, විචක්ෂණශීලී මූල්ය ක්රමවේද සහ අවදානම් බෙදාගැනීම දිරිගන්වන සුවිශේෂී බැංකුකරණ ආකෘතියේ ශක්තිය පිළිබිඹු කරන ජයග්රහණයක් ලෙස හැඳින්විය හැකියි. ශක්තිමත් ණය තක්සේරුකරණ ක්රමවේද අනුගමනය කිරීම, පුළුල් අවදානම් කළමනාකරණ රාමුවක් පවත්වාගෙන යාම සහ ගනුදෙනුකරුවන් සමඟ සමීප සම්බන්ධතා ගොඩනංවා ගැනීම යනාදී සාධක, අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් අප අත්කරගෙන ඇති සාර්ථකත්වයට ප්රධාන වශයෙන් හේතු වී තිබෙනවා. මෙම ජයග්රහණ අත්කර ගැනීම සඳහා ලබාදුන් දායකත්වය වෙනුවෙන් අපගේ කාර්ය මණ්ඩලයටත්, අප කෙරෙහි විශ්වාසය තැබීම වෙනුවෙන් ගනුදෙනුකරුවන්ටත් අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනැමීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.”
4 වැනි වරටත් පැවැත්වුණු ‘ICC Emerging Asia Banking Conclave and Awards’ වැඩසටහන සඳහා අමානා බැංකුව නියෝජනය කරමින් එහි සහකාර උප සභාපති (ව්යාපාර කටයුතු) සහ පළාත් ප්රධානී (මධ්යම පළාත) අසාම් අමීර් මහතා සහභාගී විය. ඒ මහතා මෙන්ම ආසියානු කලාපයේ රටවල් කිහිපයක බැංකු ක්ෂේත්රයේ තවත් ප්රමුඛ පෙළේ වෘත්තිකයෝ පිරිසක්ද මෙම සමුළුවේදී අදහස් දැක්වූහ.
“Trust, Technology and Transformation” යන මාතෘකාව යටතේ පැවති සංවාදමය වැඩසටහනටද සහභාගී වූ අසාම් අමීර් මහතා, ආයතනික පරිවර්තනය උදෙසා තාක්ෂණය භාවිතා කරමින් ගනුදෙනුකරුවන්ට සහ ප්රජාවන්ට වැඩි ප්රතිලාභ පිරිනමන අතරම ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා මූල්ය ආයතන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සිය දැක්ම පැහැදිලි කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අසාම් අමීර් මහතා මෙසේ පැවසීය:
“ICC Emerging Asia Banking Conclave and Awards හිදී අමානා බැංකුව නියෝජනය කිරීමට ලැබීම මට ලැබුණු ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. බැංකු ක්ෂේත්රය මෙන්ම ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන්ද වේගයෙන් වෙනස් වෙමින් පවතින මෙවන් යුගයක “Trust, Technology and Transformation” වැනි තේමා යටතේ සංවාද පැවැත්වීම අතිශයින් කාලෝචිතයි. අමානා බැංකුව අඛණ්ඩව දෙවැනි වසරටත් ශ්රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව පිළිගැනීමට ලක් වූ අවස්ථාවක එය නියෝජනය කිරීමට හැකි වීම මට ලැබුණු මහත් ගෞරවයක් ලෙස මා දකිනවා.”
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්රී ලංකා මහ බැංකුවේ බලපත්රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්රාහකයා ලෙස කටයුතු කරයි.
ඡායාරූපය, 01 : අමානා බැංකුවේ සහකාර සාමාන්යාධිකාරී (ව්යාපාර කටයුතු) සහ පළාත් ප්රධානී (මධ්යම පළාත) අසාම් අමීර් මහතා ශ්රී ලංකාවේ විශිෂ්ටතම බැංකුවට හිමි සම්මානය පිළිගනිමින්.
ඡායාරූපය, 02 : අමානා බැංකුවේ සහකාර සාමාන්යාධිකාරී (ව්යාපාර කටයුතු) සහ පළාත් ප්රධානී (මධ්යම පළාත) අසාම් අමීර් මහතා කළමනාකරණ කමිටු සාමාජිකයන් ඉදිරියේ සම්මානය කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා වෙත පිළිගැන්වූ අයුරු