A- A A+
සෙවීමට
  • Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවේ 2021 වසරේ පළමු මාස 6 සඳහා බදු-පෙර ලාභයේ 100% කට වැඩි වර්ධනයක්

Amãna Bank August 16, 2021

අමානා බැංකුව දැනට පවතින ආර්ථික අභියෝග හමුවේ පවා 2021 වසරේ පළමු මාසය 6 තුළ කැපීපෙනෙන ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට සමත් වී තිබේ. මෙම කාලය තුළ බැංකුවේ බදු-පෙර ලාභය, පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 205.5 ට සාපේක්ෂව 102% කින් වර්ධනය වී රු. මිලියන 505.7 ක් ලෙස වාර්තා වී තිබේ. පෙර වසරේ අදාළ කාලසීමාව තුළ බදු-පසු ලාභය රු. මිලියන 170.4 ක් වූ අතර, මෙම වසරේ එය 70% කින් වර්ධනය වී රු. මිලියන 289.3 ක් ලෙස වාර්තා වී ඇත.

පෙර වසරට සාපේක්ෂව මෙම වසරේ දෙවැනි කාර්තුව තුළ පමණක් අමානා බැංකුවේ බදු-පෙර ලාභය සහ බදු-පසු ලාභය පිළිවෙළින් 310% කින් සහ 291% කින් වර්ධනය වී පිළිවෙළින් රු. මිලියන 288.6 සහ රු. මිලියන 158.6 ලෙස වාර්තා වී තිබේ. පසුගිය වසරේ අදාළ කාලසීමාව රට තුළ Covid-19 රෝගය ව්‍යාප්ත වීමේ බලපෑමට දැඩිව ලක් වූ කාලසීමාවක් විය.

2021 වසරේ ප්‍රථම අර්ධය තුළ, වසංගත රෝග ව්‍යාප්තිය හමුවේ පවා ආර්ථිකය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වීමේ පෙරනිමිති පෙන්නුම් කරමින්, පාරිභෝගික අත්තිකාරම් රු. බිලියන 69.4 දක්වා 11% කින් ද, පාරිභෝගික තැන්පතු රු. බිලියන 90.9 දක්වා 9% කින්ද ඉහළ ගියේ ය. 46% ක් වැනි යහපත් ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් අනුපාතයක් (CASA ratio) වාර්තා කරගන්නා අතරම පාරිභෝගික තැන්පතු වල වර්ධනයක් සනිටුහන් කිරීමට බැංකුවට හැකියාව ලැබී ඇත. වෙළඳපොළේ දුෂ්කර තත්ත්වයන් හමුවේ පවා අමානා බැංකුවේ අක්‍රීය වත්කම් මට්ටම ක්ෂේත්‍රයේ සාමාන්‍ය අගයට වඩා පහළ මට්ටමක පවතී. කාර්යක්ෂම කළමනාකරණය සහ නොපමාව ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගෙන අවශ්‍ය පියවර ගැනීම හේතුවෙන් බැංකුවේ දළ අක්‍රීය වත්කම් අනුපාතය සහ ශුද්ධ අක්‍රීය වත්කම් අනුපාතය පිළිවෙළින් 3.9% සහ 1.2% මට්ටම් වල පවත්වා ගැනීමට හැකි වී තිබේ. මෙම මාස 6 ක කාලය තුළ බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම 9% කින් වර්ධනය වී රු. බිලියන 108.7 ක් බවට පත්වී ඇත.

නිකුත් කළ අත්තිකාරම් වල වර්ධනය සහ 3.9% ක යහපත් මූල්‍ය සම්පාදන ආන්තිකය නිසා බැංකුවේ ශුද්ධ මූල්‍ය සම්පාදන ආදායම පෙර වසරට සාපේක්ෂව 34% කින් වර්ධනය වී වසර මැද වන විට රු. බිලියන 2.0 ක් වී තිබිණි. මේ අතරින් රු. බිලියන 1.1 ක්ම වාර්තා වී ඇත්තේ දෙවැනි කාර්තුවේදී ය. අක්‍රීය මූල්‍ය පහසුකම් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ශුද්ධ මෙහෙයුම් ආදායම පළමු මාස 6 සහ දෙවැනි කාර්තුව සඳහා පිළිවෙළින් රු. බිලියන 1.97 ක් (පෙර වසරට සාපේක්ෂව 14% ක වර්ධනයක්) සහ රු. බිලියන 1.03 ක් (පෙර වසරට සාපේක්ෂව 32% ක වර්ධනයක්) ලෙස වාර්තා වී ඇත. වියදම් පාලනය කිරීම සඳහා බැංකුව දරන උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් 2020 වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව මෙම වසරේදී මෙහෙයුම් වියදම් 4% කින් අඩු වී ඇති අතර, අගය එකතු කළ බදු (VAT) වලට පසු මෙහෙයුම් ආදායම 74% කින් වර්ධනය වී රු. මිලියන 709.3 ක් වී තිබේ. මින් රු. මිලියන 400.5 ක්ම වාර්තා වී ඇත්තේ දෙවැනි කාර්තුව තුළදී ය. පළමු මාස 6 සඳහා බැංකුවේ සමස්ත බදු දායකත්වය රුපියල් මිලියන 420.0 ක් වූ අතර එය සියලුම බදු වලට පෙර බැංකුවේ මෙහෙයුම් ලාභයෙන් 59% ක් විය.

මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසී ය. “Covid-19 රෝග ව්‍යාප්තිය නිසා ඇති වූ අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දෙමින්, 2021 වසරේ ප්‍රථම මාස 6 ක කාලය තුළ ලාභදායීත්වය මෙන්ම වත්කම් වර්ධනය අතින් විශිෂ්ට ප්‍රතිඵල ළඟා කරගැනීමට අමානා බැංකුව සමත් වී ඇති බව මා ප්‍රකාශ කරන්නේ ඉතාමත් සතුටින්. මේ සඳහා ලබාදුන් සහයෝගය හා මගපෙන්වීම් වෙනුවෙන් අපගේ අධ්‍යක්ෂ මණ්ඩලයටත්, ඉමහත් කැපවීමෙන් කටයුතු කළ අපගේ කාර්ය මණ්ඩලයටත් මා ස්තූතිවන්ත වෙනවා. එමෙන්ම මෑතකදී දසවන සංවත්සරය සැමරූ අපගේ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතිය කෙරෙහි නොසැලෙන විශ්වාසය තැබූ අපගේ ගනුදෙනුකරුවන්ටත් මාගේ කෘතඥතාව හිමි විය යුතුයි. අපගේ විශිෂ්ට කාර්ය මණ්ඩලයේ දායකත්වය සමගින්, අපගේ විශ්වීය වටිනාකම් මුල්කරගෙන ක්‍රියාවට නංවා ඇති පස්-අවුරුදු ක්‍රමෝපායික සැලැස්ම ඔස්සේ, රටේ ආර්ථිකය මේ වනවිට මුහුණ පා සිටින බාධක හමුවේ පවා මේ වර්ධනීය ප්‍රවණතාව මේ වසර පුරාම පවත්වාගෙන යාමට අපට හැකි වනු ඇති බවට සැකයක් නැහැ.”

2021 අගෝස්තු 01 දින අමානා බැංකුව සිය මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියේ 10 වන සංවත්සරය අභිමානයෙන් සැමරී ය. මෙම කාලය තුළ බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. බිලියන 100 සීමාව පසුකළ අතර, ගනුදෙනුකරුවන් 380,000 කට අධික පිරිසකගේ දියුණුව හා යහපැවැත්ම ළඟා කර දීමටද බැංකුව සමත් වී තිබේ. මෙම සාර්ථකත්වය නිසාම ඇමරිකා එක්සත් ජනපදයේ ‘Global Finance’ සඟරාව වෙතින් ‘ලොව විශිෂ්ටතම නැගී එන ඉස්ලාමිය බැංකුව’ සම්මානය මෙන්ම, එක්සත් රාජධානියේ ‘Global Banking and Finance’ සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන පාරිභෝගික බැංකුව’ සම්මානයද දිනා ගැනීමට අමානා බැංකුව සමත් විය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2020 ඔක්තෝබර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

Featured

Hajj 2025

අයදුම් කරන්න
Chat on WhatsApp