• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව ලොව ශක්තිමත්ම ඉස්ලාමීය බැංකු 100 අතරට එක්වෙයි

Amãna Bank October 14, 2021

අමානා බැංකුව ‘The Asian Banker’ මගින් නම්කරන ලද ලොව ශක්තිමත්ම ඉස්ලාමීය බැංකු 100 (2020) අතරට එක්වීමට සමත් වී තිබේ. ශේෂ පත්‍ර ශක්තිය සහ වත්කම් ප්‍රමාණය පදනම් කරගෙන මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත.

ලොව ශක්තිමත්ම ඉස්ලාමීය බැංකු 100 ශ්‍රේණිගත කිරීමේදී The Asian Banker විසින් ශේෂ පත්‍රයේ වර්ධනය, අවදානම් පැතිකඩ, ලාභදායීත්වය, වත්කම් තත්ත්වය සහ ද්‍රවශීලතාව යන ප්‍රධාන අංශ 6 පදනම් කරගත් පරිපූර්ණ හා දැඩි ඇගයීම් ක්‍රියාපටිපාටියක් අනුගමනය කර තිබේ. මෙහිදී සමස්ත වත්කම් වටිනාකම, අත්තිකාරම් හා තැන්පතු වල වාර්ෂික වර්ධනය, අත්තිකාරම් හා තැන්පතු අතර අනුපාතය, ප්‍රාග්ධන සප්‍රමාණතාව, මෙහෙයුම් ලාභයේ වාර්ෂික වර්ධනය, වත්කම් මගින් ලැබෙන ආදායම, වියදම සහ ආදායම අතර අනුපාතය, අක්‍රීය වත්කම් සහ ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් අනුපාතය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇත.

“මැද පෙරදිග සහ ආසියා පැසිෆික් කලාප වල ප්‍රමුඛ පෙළේ ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය ආයතන ඇතුළත් වන ‘ලොව ශක්තිමත්ම ඉස්ලාමික බැංකු 100’ ලැයිස්තුවට එක්වීමට ලැබීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. මේ සඳහා The Asian Banker ඉතා පුළුල් ඇගයීම් ක්‍රියාවලියක් අනුගමනය කර ඇති අතර, එහිදී අමානා බැංකුවේ ශක්තිය සහ, අභියෝග වලට මුහුණ දීමට එයට ඇති හැකියාව තහවුරු වීම අප ලැබූ ගෞරවයක් ලෙස හැඳින්විය හැකියි. අපගේ මානුෂ හිතවාදී බැංකුකරණයේ දස වර්ෂය පූර්ණය සමරන මෙම වසරේදී අප ලද මෙම ජයග්‍රහණය සැබැවින්ම කාලීන ජයග්‍රහණයක්. එම ජයග්‍රහණය උදෙසා දැක්වූ දායකත්වය වෙනුවෙන් අපගේ කාර්ය මණ්ඩලය, පාරිභෝගිකයන්, කොටස් හිමිකරුවන් සහ ප්‍රධාන පෙළේ හවුල්කරුවන් සියලුම දෙනාට අපගේ කෘතඥතාව හිමි විය යුතුයි. ඉදිරියේදී තවත් මෙවැනි ජයග්‍රහණ වාර්තා කරගනිමින් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියටම යාමට අපට හැකිවනු ඇති බවට සැකයක් නැහැ.” අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.

මීට අමතරව මෙම වසර තුළ අමානා බැංකුවට Global Banking and Finance සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන පාරිභෝගික බැංකුව’, ‘විදේශගත පුද්ගලයන් සඳහා විශිෂ්ටතම ලෙස සේවාවන් සලසන බැංකුව’, සහ ‘විශිෂ්ටතම ආයතනික ප්‍රජා සත්කාර බැංකුව’ යන සම්මානද හිමි විය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2020 ඔක්තෝබර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo