• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස ඉම්තියාස් ඉක්බාල් මහතා පත්කෙරේ

අමානා බැංකුව January 27, 2022

එම්. ෆාරිස් ජසීල් සහ එම්. එම්. එස්. කුවෙලිඩ් යන මහත්වරුන්ට අමතරව ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුරට අජ්මාල් නලීර් මහතා පත් වේ.

බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ඉම්තියාස් ඉක්බාල් මහතා, 2022 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුරට පත්කිරීමට අමානා බැංකුව කටයුතු කර තිබේ. 2018 වසරේදී අමානා බැංකුව සමග එක්වූ ඉම්තියාස් ඉක්බාල් මහතා, මීට පෙර එහි උප සභාපති (මෙහෙයුම්) වශයෙන්, ශාඛා, සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණ සේවාවන් සහ පරිපාලන කටයුතු සම්බන්ධ වගකීම් දැරී ය. ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස පත්වීමත් සමග ඒ මහතා අමානා බැංකුවේ මානව සම්පත්, නීති සහ තොරතුරු තාක්ෂණ අංශයන්ද අධීක්ෂණය කරනු ඇත.

HSBC Sri Lanka සමග තම වෘත්තීය ගමන ආරම්භ කළ ඉම්තියාස් මහතා, එහිදී ණය අවදානම් කළමනාකරණය, මෙහෙයුම් අවදානම්, මූල්‍ය අපරාධ අවදානම් කළමනාකරණය, ණය එකතු කිරීම් හා නැවත අයකර ගැනීම්, සහ කාඩ්පත් මෙහෙයුම් යනාදී අංශ සම්බන්ධයෙන් අත්දැකීම් සම්භාරයක් හිමිකරගත් අතර, විදේශ රටවල රාජකාරි හා පුහුණු වැඩසටහන් වලටද සහභාගී විය. උසස්වීම් ලබමින් HSBC හි ‘ප්‍රධාන මෙහෙයුම් නිලධාරී - පාරිභෝගික බැංකුකරණ සහ වත්කම් කළමනාකරණ’ තනතුරට පත්වූ ඒ මහතා, 2013 සිට 2016 දක්වා එහි කළමනාකරණ කමිටුවේ සාමාජිකයෙකු ලෙසද සේවය කළේ ය. එක්සත් රාජධානියේ වේල්ස් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් (MBA) ලබා ඇති ඉම්තියාස් මහතා, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ වෘත්තීය සුදුසුකම්ද සපුරා තිබේ.

මීට අමතරව අමානා බැංකුව, එහි ප්‍රධාන අනුකූලතා නිලධාරී ලෙස කටයුතු කළ අජ්මාල් නලීර් මහතා ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුරට උසස් කර තිබේ. 2013 වසරේදී උප සභාපති (අත්තිකාරම්) වශයෙන් අමානා බැංකුව සමග එක්වූ නලීර් මහතා, ඉන් අනතුරුව ප්‍රධාන අවදානම් නිලධාරී තනතුරටද, ප්‍රධාන අනුකූලතා නිලධාරී තනතුරටද පත් විය. වසර 40 කට අධික අත්දැකීම් හිමි ප්‍රවීණ බැංකුකරුවෙකු වන ඒ මහතා, 1982 වසරේදී හැටන් නැෂනල් බැංකුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර, ඉන් අනතුරුව 1989 වසරේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි කොමර්ෂල් බැංකුවේ සහ, ඉන් අනතුරුව එමිරේට්ස් NDB බැංකුවේ සේවය කළේ ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කළ වසර 18 ක කාලය තුළ අජ්මාල් නලීර් මහතා බැංකු කළමනාකරණය, අවදානම් කළමනාකරණය, අත්තිකාරම් සහ විශේෂ වත්කම් කළමනාකරණය, අත්තිකාරම් පාලනය, සහ සම්බන්ධතා කළමනාකරණය යන අංශ වලට අදාළව අත්දැකීම් සම්භාරයක් හිමිකර ගැනීමට සමත් විය. 2006 වසරේදී MCB බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලයෙහි සේවයට එක්වූ ඒ මහතා, එහි අත්තිකාරම් හා අවදානම් කළමනාකරණ ප්‍රධානී ලෙස සේවය කළේ ය. විශිෂ්ට මට්ටමේ ණය හා අවදානම් කළමනාකරණ කුසලතා හිමි නලීර් මහතා, අත්තිකාරම් කළඹ කළමනාකරණය සම්බන්ධයෙන් සාර්ථක ඉතිහාසයක් හිමි වෘත්තිකයෙකි. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වන ඒ මහතා, එක්සත් රාජධානියේ වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකුද වේ.

මෙම පත්වීමත් සමග අජ්මාල් නලීර් මහතා, අමානා බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති එම්. එම්. කිව්. කුවෙලිඩ් (ප්‍රධාන අවදානම් නිලධාරී) සහ එම්. ෆාරිස් ජසීල් (ජ්‍යෙෂ්ඨ උප සභාපති - භාණ්ඩාගාරික සහ මූල්‍ය ආයතන) යන මහත්වරුන් සාමාජිකත්වය දරන අමානා බැංකුවේ කළමනාකරණ කමිටුවේ සාමාජිකත්වයද ලබයි.

“මේ ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීණ බැංකුකරුවන් සිව් දෙනා අමානා බැංකුවේ වර්ධනයේ මීළඟ පියවරට නායකත්වය දිය හැකි තනතුරු වලට පත්වීම මට මහත් සතුටක්. දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් තම වෘත්තීය හා නායකත්ව හැකියාවන් මැනැවින් ප්‍රදර්ශනය කර තිබෙනවා.” අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo