සාර්ථක ඉදිරි ගමනක නිරත වන අමානා බැංකුව රු. බිලියන 6.7 ක කොටස් ප්‍රාග්ධනයක් රැස්කිරීමේ අරමුණින් හිමිකම් නිකුතුවක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව කොළඹ කොටස් වෙළඳපොළ වෙත කරන ලද නිල දැනුම්දීමකට සමගාමීව, කොටසක් රු, 2.30 ක් ලෙස, දැනට හිමිකාරීත්වය දරන සෑම කොටසකටම එක් කොටසක් බැගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 2,902,267,365 ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මෙම නිකුතුව සඳහා කොළඹ කොටස් වෙළඳපොළේ සහ කොටස් හිමියන්ගේ අනුමැතිය ද ලැබීමට නියමිතය.
මෙම කොටස් නිකුතුවත් සමග අමානා බැංකුවේ ප්‍රාග්ධන පදනම රු, බිලියන 20 සීමාව ඉක්මවා යනු ඇති අතර, ඒ ඔස්සේ නියමිත නියාමන කාලසීමාව අවසන් වීමට සැලකිය යුතු කාලයකට පෙර, මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා නියම කර ඇති අවම ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරාලීමට අමානා බැංකුවට හැකියාව ලැබෙනු ඇත. එමගින් බැංකුවේ ඉදිරි වර්ධන සහ ව්‍යාප්ති සැලසුම් සපුරාලීමට හැකි වන ආකාරයට බැංකුවේ ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයද ශක්තිමත් වනු ඇත.
2013 වසරේදී ඉහළ දායකත්වයක් සමගින් අවසන් වූ ප්‍රථම මහජන කොටස් නිකුතුව සමගින් කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි වූ අමානා බැංකුව, පසුගිය දශකය තුළ COVID-19 වසංගතය සහ අනෙකුත් සමාජ හා ආර්ථික අභියෝගයන් හමුවේ පවා විශිෂ්ට මූල්‍ය ක්‍රියාකාරීත්වයක් වාර්තා කරගැනීමට සමත් විය. ඒ නිසාම 2018 වර්ෂයේ සිට මේ දක්වා අඛණ්ඩව වාර 6 ක් ලාභාංශ ප්‍රකාශයට පත්කිරීමට අමානා බැංකුවට හැකි වූ අතර, එලෙස ප්‍රකාශයට පත්කරන ලද ලාභාංශවල මුළු වටිනාකම රු. බිලියන 1.4 ඉක්මවයි. 2017 වසරේදීද අමානා බැංකුව හිමිකම් නිකුතුවක් සිදුකළ අතර, එමගින් දේශීය හා විදේශීය කොටස් හිමියන් බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් එම හිමිකම් නිකුතුවද ඉහළ දායකත්වයක් සහිතව අවසන් විය.
2023 වසරේ මාර්තු 31 දින වන විට අමානා බැංකුවේ කොටසක් සඳහා ශුද්ධ වත්කම් වටිනාකම රු. 5.24 ක් විය. ඒ අනුව කොටසක් රු. 2.30 බැගින් සිදුකරනු ලබන මෙම හිමිකම් නිකුතුවේදී කොටස්කරුවන්ට කොටසක් සඳහා 56% ක වට්ටමක් හිමි වන අතර, එය අපගේ කොටස් මිලදී ගැනීමට බලාපොරොත්තු වන ආයෝජකයන්ට ලැබෙන මගඟු අවස්ථාවක් වනු ඇත.
මෙම හිමිකම් නිකුතුව සම්බන්ධයෙන් අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ තම අදහස් දැක්වී ය. “අපගේ බැංකුව ලඟා කර ගත් වර්ධනයේ අතිශය වැදගත් ඉදිරි පියවරක් වන මෙම හිමිකම් නිකුතුව පිළිබඳව අප නිවේදනය කරන්නේ ඉමහත් සතුටිනි. අපගේ ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් කරගනිමින්, අනාගත අවස්ථාවන් තව තවත් ග්‍රහණය කරගැනීමට අවශ්‍ය සම්පත් අප ලඟා කරගන්නා අතරම දිගින් දිගටම අපගේ කොටස් හිමියන්ට ඉහළ වටිනාකම් තිළිණ කිරීම අපගේ අභිප්‍රායයි ”
අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මේ සම්බන්ධයෙන් මෙසේ තම අදහස් පළකළේ ය. “මෙම හිමිකම් නිකුතුව මගින් දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතින අපගේ සුවිශේෂී වූ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතිය තුළින් උපරිම ප්‍රයෝජන ගැනීමට අවස්ථාව ලැබෙනවා. මේ ඔස්සේ ලැබෙන ප්‍රාග්ධනය තුළින් අපගේ ප්‍රධාන ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කරමින්, අපගේ වර්ධනය මීළඟ අදියර කරා පිවිසීමට අපට අවස්ථාව ලැබෙනු ඇති අතර, එමගින් අපගේ කොටස් හිමියන්ට ප්‍රතිලාභ රාශියක් හිමි වේ. පසුගිය හිමිකම් නිකුතුවේදී සිදු වූ ආකාරයටම මෙවරත් අපගේ කොටස් හිමියන් අප කෙරෙහි පූර්ණ විශ්වාසය තබනු ඇතැයි අප විශ්වාස කරනවා.”
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන, IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.