අමානා බැංකුව අඛණ්ඩව 4 වන වරටත් වාර්ෂික ලාභාංශ ගෙවීමට සැලසුම් කර තිබේ. වසර 10 ක් වැනි කෙටි කාලයක් තුළ එම බැංකුව මේ වනවිට අඛණ්ඩව වසර 4 ක් වාර්ෂික ලාභාංශ ගෙවීමට කටයුතු කර ඇත. 2021 මූල්‍ය වර්ෂය සඳහා අන්තර්වාර කොටස් ලාභාංශ ගෙවීමක් ලෙස සිදුකරනු ලබන මෙවර ලාභාංශ ගෙවීමේ මුළු වටිනාකම රු. මිලියන 260 කි. පසුගිය වසරේදී අමානා බැංකුව රු. මිලියන 200 ක වටිනාකමකින් යුත් ලාභාංශ ගෙවීමක් සිදුකළ අතර, එය මෙම වසරේදී 30% කින් වැඩි වී තිබේ.
මුදල් වලින් ලාභාංශ ගෙවීමෙන් වළකින ලෙස දන්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකු වෙත නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට අනුකූලව අමානා බැංකුව 2021 කොටස් ලාභාංශ ගෙවීම ප්‍රකාශයට පත්කර ඇත. බැංකුව සතු කොටස් වලින් ආසන්න වශයෙන් කොටස් 29 කට එක් කොටසක් ලෙස සිදුකෙරෙන මෙම කොටස් ලාභාංශ ගෙවීමේ එක් කොටසක වටිනාකම රු. 2.90 ක් ලෙස නියම කර තිබේ. මෙම කොටස් ලාභාංශ ගෙවීම අවසන් වූ පසුව, අමානා බැංකුව මෙතෙක් නිකුත් කළ කොටස් ප්‍රමාණය 89,705,039 කින් වැඩිවී, කොටස් 2,691,151,194 ක් බවට පත්වනු ඇත.
“අපගේ කොටස් හිමිකරුවන් වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කිරීමේ අපගේ ක්‍රමෝපායේ කොටසක් ලෙස මේ ආකාරයට අඛණ්ඩව 4 වන වරටත් ලාභාංශ ගෙවීමක් ප්‍රකාශයට පත්කිරීමට හැකිවීම අපට මහත් සතුටක්. පෙර නොවූ විරූ අභියෝග හමුවේ පවා ශක්තිමත් ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට අපට හැකි වූ නිසා, අපගේ කොටස් හිමිකරුවන් අප කෙරෙහි දීර්ඝ කාලයක් තිස්සේ තැබූ විශ්වාසය ඇගයීමක් ලෙස අප සිදුකරන ලාභාංශ ගෙවීමේ සම්ප්‍රදාය අඛණ්ඩව පවත්වාගෙන යාමට අපට හැකියාව ලැබී තිබෙනවා.” අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා පැවසී ය.
“පසුගිය වසර කිහිපය පුරාම අභියෝග වලට මුහුණ දෙමින් ඉතා හොඳ ක්‍රියාකාරීත්වයක් වාර්තා කිරීමට අපට හැකි වුණා. ඒ නිසාම අඛණ්ඩව අපගේ කොටස් හිමිකරුවන්ට ලාභාංශ ගෙවීමට මෙන්ම, එහි වටිනාකම පසුගිය වසරට වඩා 30% කින් වැඩිකිරීමටත් අපට හැකි වී තිබෙනවා. අමානා බැංකුවේ වර්ධනයත් සමග අනාගතයේදී මෙම ලාභාංශ වටිනාකම් තවදුරටත් ඉහළ යනු ඇති බව අපගේ විශ්වාසයයි.” අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.
2020 වසර සඳහා බදු වලට පෙර ලාභය ලෙස රු. මිලියන 761.4 ක් සහ බදු වලින් පසු ලාභය ලෙස රු. මිලියන 463.7 ක් වාර්තා කිරීමට අමානා බැංකුව සමත් වූ අතර, 2021 වසරේ පළමු අර්ධයේ බදු-පෙර ලාභය හා බදු වලට පසු ලාභය පිළිවෙළින් රු. මිලියන 505.7 සහ රු. මිලියන 289.3 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 2020 වසරේදී ක්ෂේත්‍රයේ ඉහළම අගයක් ලෙස සැලකිය හැකි 17% ක තැන්පතු වර්ධනයක් වාර්තා කළ අමානා බැංකුවේ තැන්පතු 2021 වසරේ ප්‍රථම අර්ධයේදී 9% කින් ඉහළ ගොස් රු. බිලියන 90.9 ක් ලෙස සටහන් වී ඇත. අභියෝගකාරී වෙළඳපොළ වාතාවරණය හමුවේ ණය අවදානම් පරාමිතීන් ශක්තිමත් කිරීම සිදුකරන ලද අතර, නිකුත් කරන ලද ණය ප්‍රමාණය 11% කින් වර්ධනය වී රු. බිලියන 69.4 ක් ලෙස වාර්තා වේ. 2020 වසරේදී වත්කම් වටිනාකම අතින් රු. බිලියන 100 සීමාව ඉක්මවූ අමානා බැංකුව සතු මුළු වත්කම වටිනාකම, 2021 ජූනි මස 30 දින වන විට, රු. බිලියන 108.7 කි.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2020 ඔක්තෝබර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.