• Amãna Bank PLC Blog Detail - Main Visual

කැපී පෙනෙන 24% ක වර්ධනයක් සමගින් අමානා බැංකුව අඛණ්ඩව 6 වන වරටත් සිය ලාභාංශ ප්‍රකාශයට පත්කරයි

අමානා බැංකුව June 21, 2023

අමානා බැංකුව විසින් පසුගිය කාලය තුළ අත් කරගත් සාර්ථක මූල්‍ය කාර්ය සාධනයට සමගාමීව අඛණ්ඩව 6 වන වරටත් වාර්ෂික ලාභාංශ ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව කොළඹ කොටස් වෙළඳපොළ වෙත කරන ලද මෙම නිවේදනයත් සමග, 2018 වසරේ සිට මේ දක්වා අමානා බැංකුව ප්‍රකාශයට පත්කර ඇති ලාභාංශවල මුළු වටිනාකම රු. බිලියන 1.4 ඉක්මවා ඇත.

ඒ අනුව එක් කොටසක් සඳහා ලබා දෙන කොටස් ලාභාංශ ගෙවීමක් වශයෙන්, රු. 0.12 බැගින් සිදුකර ඇති මෙම ලාභාංශ ගෙවීමෙහි වටිනාකම රු. මිලියන 334.1 ක් වන අතර, මෙය 2022 වසරේදී ප්‍රකාශයට පත්කරන ලද ලාභාංශ ගෙවීමට සාපේක්ෂව 24% ක වර්ධනයකි.

මුදලින් ලාභාංශ ගෙවීම සීමා කරමින්, සියලුම බැංකුවලට අදාළ වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නියෝගයන්ට අනුකූලව මෙලෙස කොටස් ලාභාංශ ගෙවීමක් සිදුකිරීමට අමානා බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව කොටසක් රු. 2.40 ක් ලෙස මිල නියම වී ඇති අමානා බැංකුවේ කොටස් අතරින් කොටස් හිමිකරුවන් සතු සෑම කොටස් 23.5 කටම එක් කොටසක් වශයෙන් මෙම ලාභාංශ නිකුතුව සිදුකර ඇත. කොටස් ලාභාංශ ගෙවීම අවසන් වූ පසුව, බැංකුව මගින් නිකුත් කර ඇති මුළු කොටස් සංඛ්‍යාව 118,317,854 කින් ඉහළ ගොස් කොටස් 2,902,267,365 ක් ලෙස වාර්තා වනු ඇති අතර, රඳවා ගැනීමේ බද්ද සැලකිල්ලට ගැනීමෙන් පසු නිකුතුව සඳහා ප්‍රාග්ධනීකරණය කළ යුතු සංචිතවල වටිනාකම රුපියල් මිලියන 284.0 කි.

ලාභාංශ ප්‍රකාශයට පත් කිරීමට සමගාමීව අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා ඒ පිළිබඳව මෙසේ තම අදහස් දැක්වී ය. “රට මුහුණ දී සිටින ආර්ථික අභියෝග හමුවේ පවා මේ ආකාරයට අඛණ්ඩව 6 වන වරටත් ලාභාංශ ප්‍රකාශයට පත්කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය අපගේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වයට මෙන්ම අපගේ ව්‍යාපාර ආකෘතියේ ශක්තිමත්භාවයට සහ කොටස් හිමියන්ට උපරිම ප්‍රතිලාභ පිරිනැමීමට අප දක්වන කැපවීමට මනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැකියි.”

“මෙය අපගේ කොටස් හිමිකරුවන්ට අඛණ්ඩව ප්‍රතිලාභ පිරිනැමීම සඳහා අප දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. අභියෝගකාරී තත්ත්වයන් හමුවේ පවා සාර්ථක ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට සමත් වීම නිසා, 2018 වසරේදී ලාභාංශ ගෙවීම ආරම්භ කිරීමේ සිට මේ දක්වා එම ගෙවීම් ක්‍රමානුකූලව වැඩි කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. මේ වනවිට අනාගත වර්ධනය සඳහා අප නව මාවත් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, මෙම යහපත් මූල්‍ය ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වා ගනිමින් අපගේ කොටස් හිමිකරුවන්ට අඛණ්ඩව ප්‍රතිලාභ ගෙවීමට අපට හැකියාව ලැබෙනු ඇති බව මට විශ්වාසයි.” අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා එසේ තම අදහස් දැක්වී ය.

මෙම ලාභාංශ ගෙවීම අමානා බැංකුවේ ශක්තිමත් මූල්‍ය තත්ත්වය, කාර්යක්ෂම කළමනාකරණය සහ අවදානම් දැරීමේ ක්‍රමවේදයන්හි සාර්ථකත්වය මනාව පිළිබිඹු කරයි. 2022 වර්ෂයේදී තම ඉතිහාසයේ ඉහළම බදු-පෙර ලාභය වශයෙන් රු. බිලියන 1.2 ක බදු-පෙර ලාභයක් වාර්තා කළ අමානා බැංකුව, 2023 වසරේ ප්‍රථම කාර්තුවේදී ද්වි-අංක වර්ධනයක් වාර්තා කරමින් රු. මිලියන 423.5 ක බදු-පෙර ලාභයක් වාර්තා කරගැනීමට සමත් වී ඇත.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජිද්දා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස පමණක් කටයුතු කරයි.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo