සිය ධනාත්මක කාර්යසාධන ප්‍රවණතාව අඛණ්ඩව රඳවා ගනිමින් සහ අභියෝගකාරී ආර්ථික පරිසරය හමුවේ තම ශක්තිය හා ස්ථාවරත්වය තුළින් පන්නරය ලබමින්, 2023 ප්‍රථම කාර්තුවේදීත් ද්විත්ව ඉලක්කම් වර්ධනයක් වාර්තා කරගැනීමට අමානා බැංකුව සමත් වී ඇත. පෙර වසරේ අදාළ කාලසීමාව තුළ රු. මිලියන 385.8 ක බදු-පෙර ලාභයක් වාර්තා කළ අමානා බැංකුව, මෙම කාර්තුව තුළ එය රු. මිලියන 423.5 දක්වා 10% කින් වර්ධනය කරගෙන තිබේ. බදු ඉහළ නැංවීමත් සමග බදු වියදම් 50% කින් ඉහළ යාම හේතුවෙන් බැංකුවේ බදු-පසු ලාභය 2022 වර්ෂයේ අදාළ කාලසීමාවේදී වාර්තා වූ රු. මිලියන 250.7 ට සාපේක්ෂව රු. මිලියන 220.7 ක් දක්වා 12% කින් පහළ ගොස් ඇත. කාර්තුව අවසානයේදී බැංකුවේ සමස්ත පරිපූර්ණ ආදායම රු. මිලියන 215.3 ක් ලෙස වාර්තා වූ අතර, එය 2022 වසරේ පළමු කාර්තුව තුළ වාර්තා වූ රු. මිලියන 177.8 ට සාපේක්ෂව 21% ක වර්ධනයකි.
පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ රු. බිලියන 2.21 ක් වූ අමානා බැංකුවේ සමස්ත මූල්‍ය පහසුකම් ආදායම මෙම සමාලෝචනයට අදාළ කාලසීමාවේදී දෙගුණයකින් වර්ධනය වී රු. බිලියන 4.41 ක් බවට පත් වී තිබීම, අමානා බැංකුවේ සුවිශේෂී මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතිය රට තුළ ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතින බවට මනා සාක්ෂියක් ලෙස සැලකිය හැක. ආදායමේ වර්ධනය, අරමුදල් කාර්යක්ෂම ලෙස යෙදවීම සහ අත්තිකාරම් හා වගකීම් නිසි කලට ප්‍රතිමිලකරණය කිරීම නිසා බැංකුවේ මූල්‍ය පහසුකම් ආන්තිකය 2022 පළමු කාර්තුවේ වාර්තා වූ 3.6% මට්ටමේ සිට 5.0% දක්වා වර්ධනය වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස බැංකුවේ ශුද්ධ මූල්‍ය සම්පාදන ආදායම 57% කින් වර්ධනය වී, එය රු. බිලියන 1.77 ක් ලෙස වාර්තා වී ඇත.
තම ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායමේ වර්ධනයද අඛණ්ඩව පවත්වා ගනිමින් අමානා බැංකුව එම ආදායම පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 114% කින්, එනම් රු. මිලියන 115.9 සිට රු. මිලියන 248.0 දක්වා වර්ධනය කරගෙන ඇති අතර, ශුද්ධ වෙළඳ ආදායමද පසුගිය වසරේ වාර්තා වූ රු. මිලියන 235.9 ට සාපේක්ෂව රු. මිලියන 247.5 දක්වා වර්ධනය වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම පසුගිය වසරට සාපේක්ෂව 56% කින් වර්ධනය වී රු. බිලියන 2.28 ක් ලෙස වාර්තා වී ඇත. ආර්ථික අභියෝගවලින් වැඩි බලපෑමකට ලක් වූ ව්‍යාපාර සම්බන්ධ අවදානම හේතුවෙන් අක්‍රීය මුල්‍ය පහසුකම් සඳහා වැඩි වශයෙන් ප්‍රතිපාදන වෙන්කළද, බැංකුවේ ශුද්ධ මෙහෙයුම් ආදායම 2022 පළමු කාර්තුවේදී වාර්තා වූ රු. බිලියන 1.22 ට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී රු. බිලියන 1.55 දක්වා 27% කින් වර්ධනය වී ඇත.
ගෙවුන පළමු කාර්තුවේ උද්ධමනය 50% ඉක්මවා වාර්තා වූ පසුබිමක් තුළ පවා බැංකුවට තම මෙහෙයුම් වියදම් ඉහළ යාම 32% මට්ටමේ පවත්වා ගැනීමට හැකි විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, මූල්‍ය සේවාවන් මත අයකරනු ලබන අගය එකතු කළ බදු සහ සමාජ ආරක්ෂණ දායකත්වය බදුවලට පෙර මෙහෙයුම් ලාභය, පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 541.4 ට සාපේක්ෂව, රු. මිලියන 656.0 දක්වා වර්ධනය වී තිබේ. බැංකුවේ පළමු කාර්තුවේ සමස්ත බදු දායකත්වය රුපියල් මිලියන 435.3 ක් වූ අතර, එය සියලු බදුවලට පෙර බැංකුවේ මෙහෙයුම් ලාභයෙන් 66% ක් විය.
දැඩි ද්‍රවශීලතා තත්ත්වයන් සහ වෙළෙඳපොළ තුළ අරමුදල් සඳහා ඇති දැඩි තරගකාරීත්වය මධ්‍යයේ වුවද, බැංකුව සිය පාරිභෝගික තැන්පතු 3% කින් වර්ධනය කරගෙන ඇති අතර, 2023 පළමු කාර්තුව අවසන් වන විට එම කළඹෙහි වටිනාකම රුපියල් බිලියන 115.5 ක් විය. බැංකුවේ ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය 41% ක් වූ අතර, නිකුත් කළ පාරිභෝගික අත්තිකාරම් ප්‍රමාණය රු. බිලියන 80.0 ක් විය.
නිසි කලට ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වීම සහ කාර්යක්ෂම ලෙස කළඹ කළමනාකරණය කිරීම හේතුවෙන්, තුන්වන පෙළ අක්‍රීය අත්තිකාරම් අනුපාතය වෙළඳපොළේ සාමාන්‍ය අගයට වඩා සැලකිය යුතු මට්ටමකට පහළ අගයක්, එනම් 2.0% ක් ලෙස වාර්තා වී ඇත. අමානා බැංකුවේ වත්කම්වල මුළු වටිනාකම 2023 මාර්තු 31 දින වනවිට රු. බිලියන 143.0 ක් බවට පත් වී ඇති අතර, බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 15.6% ක් විය. මෙය අවම නියාමන අවශ්‍යතාව වන 12.5% ට වඩා පැහැදිලි ලෙසම ඉහළ අගයකි.
මෙම මූල්‍ය ප්‍රතිඵල සම්බන්ධයෙන් අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ අදහස් දැක්වී ය. “බාහිර වෙනස්කම්වලට සාර්ථක ලෙස මුහුණ දෙමින් අමානා බැංකුව තවත් කාර්තුවකදී මේ ආකාරයට ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබෙනවා. අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව, උනන්දුව හා කැපවීම ඔස්සේ මෙම ප්‍රතිඵල ළඟා කරගැනීමට දායක වූ අපගේ කළමනාකාරීත්වයටත් කාර්ය මණ්ඩලයටත් මගේ ස්තූතිය හිමි විය යුතුයි.”
අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ සිය අදහස් පළකළේ ය. “අපගේ පළමු කාර්තුවේ ප්‍රතිඵල මගින් නිරූපණය වන්නේ, අභියෝගකාරී එහෙත් ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින ආර්ථික පරිසරයක් තුළ අප බැංකුව පෙන්නුම් කර ඇති ස්ථාවරත්වය සහ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාවයි. අපගේ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතිය සහ අපගේ ඩිජිටල් සහ කලාපීය ආවරණ පරාසය පුළුල් කිරීම සඳහා සිදුකරන ආයෝජනද සමගින් බැංකුව සියලුම මට්ටම්වල ආර්ථික ක්‍රියාකාරකම් දිරිගැන්වීමට පියවර ගනිමින් සිටින අතර, අපගේ අනාගත ගමන්මග පිළිබඳව මා තුළ ඇත්තේ සුභවාදී දැක්මකි. අමානා බැංකුව කෙරෙහි අඛණ්ඩව විශ්වාසය තැබීම වෙනුවෙන් මා අපගේ අධ්‍යක්ෂවරුන්, කළමනාකාරීත්වය, කාර්ය මණ්ඩලය, කොටස් හිමිකරුවන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම දෙනාට ස්තූතිවන්ත වනවා.”
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස පමණක් කටයුතු කරයි.