සුපරීක්ෂාකාරී අවදානම් කළමනාකරණය සහ විධිමත් ආයතනික පාලනය මූලික කරගත් ශක්තිමත් බැංකුකරණ ආකෘතියකට අනුව ක්‍රියාත්මක වන අමනා බැංකුව, බාහිර ආර්ථික පරිසරයේ පවතින අභියෝගවලට ශක්තිමත් ලෙස මුහුණ දෙමින්, සිය ඉතිහාසයේ විශිෂ්ටතම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී ඇත.
2022 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ අමානා බැංකුව රු. බිලියන 1.21 ක බදු-පෙර ලාභයක් වාර්තා කර ඇති අතර, මෙයේ ඊට පෙර වර්ෂයේ වාර්තා වූ රු. බිලියන 1.08 ට සාපේක්ෂව 12% ක වර්ධනයකි. ශ්‍රී ලංකාව පෙර නොවූවිරූ ආකාරයේ ආර්ථික අභියෝගවලට මුහුණ දෙමින් සිටින පසුබිමක් තුළ මෙවැනි ප්‍රගතියක් වාර්තා කිරීම, බැංකුවේ ශක්තියට මෙන්ම එහි සුවිශේෂී ජනතා-කේන්ද්‍රීය බැංකුකරණ ආකෘතිය ජනතාව අතර ජනප්‍රිය වෙමින් පවතින බවට මනා සාක්ෂියකි. බදු වියදම් පසුගිය වසරේ වාර්තා වූ රු. මිලියන 256 සිට මෙම වසරේදී රු. මිලියන 419 දක්වා 64% කින් ඉහළ යාම නිසා, 2021 වසරේ බදු-පසු ලාභය වූ රු. මිලියන 824.7 ට සාපේක්ෂව මෙවර බදු-පසු ලාභය රු. මිලියන 788.2 ක් දක්වා සුළු අඩුවීමක් පෙන්නුම් කරයි.
මූල්‍ය සම්පාදන සේවාවන්හි අනුපාතයන් විශාල වශයෙන් ඉහළ යාමත් සමග, 2021 වසරේදී වාර්තා වූ. රු. බිලියන 7.7 ට සාපේක්ෂව මෙම වසරේදී බැංකුවේ මූල්‍ය සම්පාදන සේවා ආදායම රු. බිලියන 12.1 දක්වා 58% කින් වර්ධනය වී තිබේ. මේ අතර තැන්පතු ප්‍රතිමිලකරණයද වේගවත් ලෙස සිදුවීම නිසා, මූල්‍ය සම්පාදන සේවා වියදම් 2021 වසරේ වාර්තා වූ රු. මිලියන 3.4 ට සාපේක්ෂව මෙම වසරේදී 115% කින් වර්ධනය වී රු. බිලියන 7.3 ක් ලෙස වාර්තා වී ඇත. කෙසේ නමුත්, බැංකුවේ සමස්ත ආදායමේ ශක්තිමත් වර්ධනය හේතුවෙන් මින් ඇති වූ බලපෑම අවම වී ඇති අතර, 2021 වසරේ වාර්තා වූ රු. බිලියන 4.3 ට සාපේක්ෂව මෙවර ශුද්ධ මූල්‍ය සේවා සම්පාදන ආදායම 12% කින් වර්ධනය වී, රු. බිලියන 4.8 ක් ලෙස වාර්තා වී තිබේ.
2022 වසරේ වැඩි කාලයක් පුරා විදේශ විනිමය හිඟය සහ ආනයන සීමාවන් පැවතියද, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට පහසුකම් සැලසීම තුළින්, තම ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම වර්ධනය කරගැනීමට බැංකුව සමත් විය. ඒ අනුව, පසුගිය වසරේ රු. මිලියන 401.9 ක් වූ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම මෙම වසරේදී රු. මිලියන 750.3 දක්වා 87% කින් වර්ධනය වී ඇති අතර, පෙර වසරේ රු. මිලියන 155. 1 ක් වූ ශුද්ධ වෙළඳ ආදායම මෙම වසරේ රු. මිලියන 864.7 ක් දක්වා වර්ධනය වී ඇත. ආර්ථික අභියෝග හමුවේ වැඩිම බලපෑමක් එල්ල වීමට ඉඩ ඇති ව්‍යාපාරවල අවදානම අවම කිරීම සඳහා, වැඩි අක්‍රීය අත්තිකාරම් ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කළ පසුව, බැංකුවේ ශුද්ධ මෙහෙයුම් ආදායම, පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 4.01 ට සාපේක්ෂව 18% කින් වර්ධනය වී රු. බිලියන 4.72 ක් ලෙස වාර්තා වී තිබේ.
2022 වසරේ සාමාන්‍ය උද්ධමනය 45% ඉක්මවා ගියද, පෙර වසරට සාපේක්ෂව තම මෙහෙයුම් වියදම් වැඩි වීම 16.4% මට්ටමේ පවත්වා ගැනීමට අමානා බැංකුව සමත් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, බැංකුවේ මූල්‍ය සේවා මත අයකරනු ලබන VAT බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට පෙර මෙහෙයුම් ලාභයේ 20% ක කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කරමින්, පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 1.44 ට සාපේක්ෂව මෙම වසරේදී රුපියල් බිලියන 1.73 ක මෙහෙයුම් ලාභයක් වාර්තා වී තිබේ. බැංකුවේ සමස්ත බදු දායකත්වය වන රුපියල් මිලියන 948, සියලු බදුවලට පෙර බැංකුවේ මෙහෙයුම් ලාභයෙන් 55% ක් වැනි ඉහළ ප්‍රතිශතයකි.
වෙළඳපොළ ද්‍රවශීලතා සීමාවන් සහ වෙළඳපොළේ මුදල් තැන්පතු සඳහා පැවති දැඩි තරගකාරිත්වය මධ්‍යයේ, බැංකුවේ තැන්පතුවල මුළු වටිනාකම රුපියල් බිලියන 100 සන්ධිස්ථානය පසුකළේ ය. පෙර වසරේ රු. බිලියන 96.1 ක් වූ එය, මෙම වසරේදී 17% ක වර්ධනයක් අත්කර ගනිමින් රු. බිලියන 112.5 ක් බවට පත්වී තිබේ. මෙය බැංකුවේ ස්ථාවරත්වය සහ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් විශ්වාසය තබා ඇති බවට මනා සාක්ෂියකි. 2022 වසර සඳහා බැංකුවේ ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් අනුපාතය 43% ක් වැනි යහපත් අගයක් ගනී.
ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් සැපයීමේදී අනුගමනය කරන වගකීම්-සහගත ප්‍රවේශය හේතුවෙන්, 2021 වසරේදී රු. බිලියන 75.8 ක් වූ නිකුත් කළ අත්තිකාරම් එකතුව මෙම වසරේදී රු. බිලියන 83.1 දක්වා 10% කින් වර්ධනය වී තිබේ. නිසි කලට ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වීම සහ මුල්‍ය කළඹ කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම හේතුවෙන්, තුන්වන පෙළ අක්‍රීය අත්තිකාරම් අනුපාතය වෙළඳපොළේ සාමාන්‍ය අගයට වඩා අඩු මට්ටමකට, එනම් 2.1% ක් ලෙස වාර්තා වී ඇත.
අමානා බැංකුවේ වත්කම්වල මුළු වටිනාකම, 16% කින්, එනම් රු. බිලියන 19.8 කින් වර්ධනය වී, රු. බිලියන 141.7 ක් බවට පත් වී තිබේ. සංචිත ඉහළ යාම හේතුවෙන්, මෙම සමාලෝචනයට අදාළ වර්ෂය තුළ බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 15.8% දක්වා වර්ධනය වී ඇත. මෙය අවම නියාමන අවශ්‍යතාව වන 12.5% ට වඩා පැහැදිලි ලෙසම ඉහළ අගයකි.
ලාභදායීත්වය දිගින් දිගටම පවත්වාගැනීමට හැකි වීම හේතුවෙන්, අඛණ්ඩව 5 වන වරටත් ලාභාංශ ගෙවීමට අමානා බැංකුව කටයුතු කළේ ය. කොටස් ලාභාංශ ගෙවීමක් ලෙස සිදුකරන ලද එහි මුළු වටිනාකම රු. මිලියන 269 ක් වූ අතර, ලාභාංශ ඵලදා අනුපාතය 3.4% කි.
බැංකු ක්ෂේත්‍රයට ආර්ථික අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වූ පසුබිමක් තුළ Fitch Ratings සමාගම 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී සිදුකළ නවතම සමාලෝචනය යටතේ අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිය ‘BB+ (lka) with an RWN outlook’ ලෙස තහවුරු කරන ලදි. දුෂ්කර වෙළඳපොළ තත්ත්වයන් තුළ හිමි වූ මෙම ශ්‍රේණිය, දීර්ඝ කාලයක් පුරා අමනා බැංකුව පවත්වාගත් මූල්‍ය ස්ථාවරත්වයට සහ සාර්ථක මූල්‍ය ක්‍රියාකාරීත්වයට සාක්ෂි දරයි.
අමානා බැංකුවේ 2022 වසරේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්, එහි සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ අදහස් දැක්වී ය. “වර්ෂය පුරා අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වුවත්, අමනා බැංකුවේ දැක්ම, ක්‍රියාශීලී බව සහ සදාචාරාත්මක ව්‍යාපාර ආකෘතිය සමග එක් වූ ශක්තිමත් පාරිභෝගික දායකත්වය හේතුවෙන්, ඉතිහාසයේ මේ දක්වා වාර්තා වූ විශිෂ්ටතම කාර්යසාධනය වාර්තා කරගැනීමට අපට හැකි වූ බව මා නිවේදනය කරන්නේ නිහතමානී සතුටකින්. ශ්‍රී ලංකාවට මෑත ඉතිහාසයේ මුහුණ දීමට සිදු වූ පෙර නොවූවිරූ සාර්ව ආර්ථික අභියෝග හමුවේ පවා මෙවැනි ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වීම ප්‍රශංසනීය යි. අමානා බැංකුව භාවිතා කරන සුවිශේෂී බැංකුකරණ ආකෘතිය නිසා අපට බැංකු ක්ෂේත්‍රය පොදුවේ මුහුණ දුන් අභියෝග රැසකින් ආරක්ෂා වීමට හැකි වූ අතර, එය ආර්ථික කැළඹීම් වලට ඔරොත්තු දීමට අපට ශක්තියක් වුණා. අපගේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්, කළමනාකාරීත්වය, කාර්ය මණ්ඩලය, අපගේ ගනුදෙනුකරුවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් ඇතුළු සියලුම දෙනාට මගේ අතිමහත් වූ කෘතඥතාව පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. හෙට දිනයේ සුවිශේෂී නව පරිච්ඡේදයකට පිවිසීමට සූදානමින් සිටින මේ මොහොතේ, බාහිර පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව සුපරීක්ෂාකාරී වෙමින්, 2022 වසරේදී අත්කරගත් සාර්ථකත්වය ඔස්සේ අඛණ්ඩව ඉදිරියට යාම අපගේ බලාපොරොත්තුවයි.”
අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ සිය අදහස් පළකළේ ය. “2022 වසර අපට සුවිශේෂී සිදුවීම් බහුල වසරක් වුණා. බාහිර අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වුවත්, අඛණ්ඩව දියුණුව කරා ගමන් කිරීමටත්, අපගේ ඩිජිටල් තාක්ෂණ භාවිතය පුළුල් කරගැනීමටත් අපට හැකි වුණා. අපගේ මානුෂ හිතවාදී බැංකු ක්‍රමයේ මූලිකාංග පදනම් කරගනිමින්, ගනුදෙනුකරුවන් සමග පවතින සමීප සම්බන්ධතාවන් තවදුරටත් ශක්තිමත් කරගැනීමටත්, ඔවුන්ට මුහුණ දීමට සිදු වී ඇති සුවිශේෂී තත්ත්වයන් පැහැදිලිව අවබෝධ කරගැනීමටත් අප උත්සාහ කළා. එහි අරමුණ වූයේ, මේ දුෂ්කර කාලසීමාව පසුකිරීමට ඔවුන්ට අවශ්‍ය අත්වැල සහ මගපෙන්වීම ලබාදීමයි. මේ අභියෝග ජයගැනීමට අපට හැකි වුණේ, අපගේ අධ්‍යක්ෂ මණ්ඩලය ලබාදුන් පැහැදිලි ක්‍රමෝපායික නායකත්වය සමග, අපගේ කාර්ය මණ්ඩලයේ උනන්දුව හා කැපවීම නිසයි. අපගේ අධ්‍යක්ෂවරුන්, කළමනාකාරීත්වය, කාර්ය මණ්ඩලය, හවුල්කරුවන්, ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම දෙනාට මගේ ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. අපගේ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතිය මෙන්ම, අපගේ ඩිජිටල් තාක්ෂණ හැකියාවන් සහ කලාපීය ආවරණ පරාසය පුළුල් කිරීමට අප සිදුකරන ආයෝජනයන් නිසා, අනාගතයේදී තවතවත් ජයග්‍රහණ වාර්තා කරමින් ඉදිරියටම යාමට අමානා බැංකුවට හැකියාව ලැබේවි.”
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙද්දා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ස්ථාපනකරු සහ අරමුදල් අනුග්‍රාහක ලෙස පමණක් කටයුතු කරයි.