• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව ජිද්දා නගරයේ පැවති 48 වන IsDB වාර්ෂික හමුවීම් මාලාවට සහභාගී වෙයි

අමානා බැංකුව June 1, 2023

පසුගිය මැයි මස 10 වන දා සිට පුරා දින තුනක් සෞදි අරාබි රාජ්‍යයේ ජිද්දා නගරයේදී පැවති 48 වැනි IsDB වාර්ෂික හමුවීම් මාලාවට අමානා බැංකුව සහභාගී විය. මේ සඳහා ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (Organisation of Islamic Cooperation – OIC) සාමාජික රටවල මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් මෙන්ම IsDB සමූහය මගින් ආරාධනය කරන ලද ලොව පුරා විහිදී ඇති බැංකු සහ විවිධ ආයතනවල නියෝජිතයන් විශාල පිරිසක් ද සහභාගී විය. තවද OIC සාමාජික රටවල නියෝජිතයන් හැරුණු විට තවත් රටවල් 90 ක පමණ නියෝජිතයන් 4,000 කට වැඩි පිරිසක් මෙන්ම, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි කලාපීය හා ගෝලීය මූල්‍ය ආයතන 89 ක නියෝජිතයන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඒ අනුව අමානා බැංකුව නියෝජනය කරමින් එහි සභාපති අස්ගි අක්බරලි මහතා සහ කළමනාකර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මීට සහභාගී වූ අතර, ඔවුහු එහිදී ප්‍රධාන පෙළේ සාකච්ඡා වට කිහිපයකටද එක්වූහ.

වාර්ෂිකව රැස් වන IsDB සමූහයේ මෙම හමුවීම් මාලාව සිය සාමාජික රටවල් මුහුණපාන සංවර්ධන අභියෝග සහ ආයතනික අභියෝග පිළිබඳ පවත්වන සාකච්ඡාවන් සඳහා වේදිකාවක් ලෙස කටයුතු කරයි. මෙවර පැවති සාකච්ඡා මාලාවන් වලදී දැනුම් හුවමාරු කරගැනීමේ සැසි කිහිපයක් මෙන්ම, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ප්‍රමුඛ පෙළේ සංවිධාන වල ඉහළ තලයේ නියෝජිතයන් සහ පෞද්ගලික අංශයේ සාමාජිකයන්, විද්වතුන් සහ සිවිල් සමාජයේ සාමාජිකයන් යන සියල්ලන්ගේම එකතුවෙන් සාකච්ඡා හා සංවාද වැඩසටහන් කිහිපයක්ද පැවැත්වීමට IsDB සමූහයට හැකි විය. ‘හවුල්කාරීත්වයන් තුළින් අර්බුදවලින් මිදීම’ (‘Partnerships to Fend off Crises’) යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන් වල මූලික අරමුණ වූයේ සහයෝගීත්වය, නවෝත්පාදනය සහ ක්‍රමෝපායික හවුල්කාරීත්වය දිරිගැන්වීම ය.

මෙම දැනුම් හුවමාරු සැසිවලදී විශේෂයෙන්ම, තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීම සඳහා වඩාත් ශක්තිමත් හවුල්කාරීත්වයන් ඇතිකරගැනීම සහ එම ප්‍රයත්නයන් තවදුරටත් පුළුල් කිරීමේ වැදගත්කම පිලිබඳ අවධාරණය යොමු කරන ලදි. පසුගිය කාලය තුළ පැවති COVID-19 වසංගත ව්‍යාප්තිය සහ ඉන් අනතුරුව ඇති වූ ආර්ථික හා දේශපාලනික අර්බුදයන් වැනි ගැටලු නිසා මෙම ප්‍රයත්නයන්ට දිගින් දිගටම බාධා එල්ල විය. රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ආයෝජන සහ විකල්ප මූල්‍යකරණ යාන්ත්‍රණයන් වැඩි කිරීමට මෙතක් දරන ලද උත්සාහයන් නැවත අලුත් කරන මෙන් මේ සඳහා සහභාගී වූ විද්වත් කමිටුව මෙහිදී ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය. දරිද්‍රතාව පිටුදැකීම, යටිතල පහසුකම් සංවර්ධනය, කාන්තාවන් සහ තරුණ තරුණියන් සවිබල ගැන්වීම සහ දේශගුණික ක්‍රියාකාරකම් වැනි පුළුල් පරාසයක පැතිරුණු තේමාවන් ආවරණය කරන වැඩසටහන් රැසක්ද මෙම වැඩසටහන් මාලාවේ අන්තර්ගත විය.

“ලොව පුරා වෙසෙන රටවල් රැසක නායකයන් සහ විශේෂඥයන් සහභාගී වූ මෙම IsDB වාර්ෂික හමුවීම් මාලාව සඳහා සහභාගී වීමට ලැබීම අපට මහත් සතුටක්. මෙහිදී ගෝලීය ආර්ථිකය හා සම්බන්ධ මාතෘකා රැසක් සාකච්ඡාවට බඳුන් කිරීමට අපට අවස්ථාවක් ලැබුණා. මෙම සුවිශේෂී හමුවට අප සහභාගී වීම ආර්ථික වර්ධනය සහ තිරසාර සංවර්ධනය දිරිගැන්වීම පිළිබඳ අපගේ දැක්මට ලඟා වීමට තබන පියවරක් ලෙස අපට පෙන්වාදීමට පුළුවන්.” එම අවස්ථාවට සහභාගී වූ අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා එසේ පැවසී ය.

“ශ්‍රී ලංකාව ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සාමාජික රටක් නොවූවත් මෙලෙස IsDB වාර්ෂික හමුවීම් මාලාවට සහභාගී වීමට අවස්ථාවක් ලැබීම අප ලැබූ ගෞරවයක්. මෙම සාකච්ඡාවන් අතරතුර, සෞඛ්‍ය සේවා, කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, අධ්‍යාපනය සහ මානුෂීය සහයෝගීතාවය ආවරණය වන පරිදි ඩොලර් බිලියන 5.4 ක පමණ සමස්ත වටිනාකමකින් යුත් ගිවිසුම් 77 ක් අත්සන් කිරීම සිදු විය. නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවටත් මෙම සංවර්ධන ගිවිසුම්වල ප්‍රතිලාභ අත්විඳීමට හැකි වනු ඇතැයි කියා අප සිතනවා. මෙම ගිවිසුම් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවලට පමණක් සීමා නොවී, එම සංවිධානයේ නිරීක්ෂක සමාජිකත්වය ලබාගෙන ඇති රුසියාව සහ තායිලන්තය වැනි රටවලට පවා අදාළ වීම විශේෂත්වයක්.” එම අවස්ථාවට සහභාගී වූ අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා එසේ අදහස් දැක්වී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජිද්දා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස පමණක් කටයුතු කරයි.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo