• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවේ ඕෆන්කෙයාර් (OrphanCare) වැඩසටහනෙන් තවත් කාර්තුමය බෙදාහැරීමක් සම්පූර්ණ කරයි

Amãna Bank January 8, 2021

අමානා බැංකුවේ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද ඕෆන්කෙයාර් (OrphanCare) ප්‍රජා සත්කාර වැඩසටහන, අඛණ්ඩව 5 වන වරටත් කාර්තුමය අරමුදල් බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණ කළේ ය. 2020 නොවැම්බර් මාසයේදී සිදුකරන ලද අරමුදල් බෙදාදීම හරහා ප්‍රතිලාභ ලද දරුවන් සංඛ්‍යාව 2,800 කට අධික වේ. දැනට පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ පවා අඛණ්ඩව ආධාර ලබාදීමට අමානා බැංකුව පියවර ගෙන ඇති අතර, ප්‍රතිලාභීන් සංඛ්‍යාවද ක්‍රමානුකූලව ඉහළ ගොස් ඇත. මෙය ඕෆන්කෙයාර් වැඩසටහන ක්‍රමයෙන් පුළුල් වෙමින් පවතින බවට මනා සාක්ෂියකි.

ස්වාධීන භාර අරමුදලක් ලෙස ක්‍රියාකරන අමානා බැංකුවේ ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහන වන ඕෆන්කෙයාර් වැඩසටහන ආරම්භ කරන ලද්දේ, දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ අනාගත යහපත සම්බන්ධයෙන් ගත්විට අතිශයින් වැදගත්, එහෙත් ප්‍රමාණවත් අවධානයක් යොමු වී නොතිබුණු ගැටලුවක් සඳහා පිළියමක් වශයෙනි. එම ගැටලුව නම්, වයස අවුරුදු 18 පිරී ළමා නිවාස වලින් නික්ම යාමට සිදුවන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අභියෝගයයි. ළමා කාලයේදී රැකවරණය අහිමි වීමෙන් අනතුරුව ළමා නිවාස වලට පැමිණ, ඉන්පසු වැඩි වියට පත්වූ විට එම ආයතනික රැකවරණය මගින්ද ඔවුන් අත්හරිනු ලැබීම නිසා යුනිසෙෆ් සංවිධානය විසින් ‘දෙවන අත්හැරීම’ (The Second Abandonment) වශයෙන් හඳුන්වනු ලබන මෙම තත්ත්වය, දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ගැටලුවකි. අමානා බැංකුව තම ප්‍රජා සත්කාර වැඩසටහන හරහා උත්සාහ කරන්නේ, මෙම ගැටලුව විසඳීමේ එක් වැදගත් පියවරක් වන, එම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වන ආකාරයට අරමුදල් සම්පාදනය කිරීමට ය. ඒ සඳහා ඕෆන්කෙයාර් භාරය ප්‍රතිලාභී දරුවන්ට අවුරුදු 18 සපිරෙන තුරු ඔවුන්ගේ ගිණුම් වලට වරින් වර මුදල් බැරකරන අතර, ඉන්පසුව එම දරුවන්ට එම මුදල් ලබාගත හැකි වේ.

මෙම වැඩසටහනට අදාළ සියලුම පරිපාලන හා මෙහෙයුම් වියදම් බැංකුව මගින් දරනු ලබන නිසා, වැඩසටහනට පරිත්‍යාග කරනු ලබන සියලුම මුදල් සම්පූර්ණයෙන්ම ප්‍රතිලාභී දරුවන් වෙත යොමු වේ.

මෙම ප්‍රජා සත්කාරය පිළිබඳව අදහස් දක්වමින් ඕෆන්කෙයාර් භාරයේ ප්‍රධානී අසාද් සහීඩ් මහතා මෙසේ පැවසී ය. “COVID-19 රෝග ව්‍යාප්තිය නිසා ඇතිවූ අභියෝග හමුවේ පවා අඛණ්ඩව 5 වන වරටත් මෙලෙස අදාළ ප්‍රතිලාභී ගිණුම් වලට මුදල් බැරකිරීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙම වැඩසටහනට දිගින් දිගටම සහය ලබාදෙමින් සිටින දානපතියන් පිරිසට සහ අපගේ ඉදිරි ගමනට සුභ ප්‍රාර්ථනා කරන්නන් සියලුම දෙනාට අප සැබැවින්ම ණයගැතියි. එමෙන්ම අපගේ භාරකාර මණ්ඩලය අප වෙත ලබාදෙන මගපෙන්වීමට අප බෙහෙවින් ස්තූතිවන්ත වනවා. මේ වනවිට ස්ථාවර නියෝග හරහා මාසිකව මෙම ප්‍රජා සත්කාරය වෙත මුදල් බැරකරන දානපතියන් සංඛ්‍යාව 650 කට අධිකයි. එමෙන්ම ව්‍යාපාරික ආයතන රැසකුත් මේ වනවිට ඕෆන්කෙයාර් අරමුදලට තම නොමසුරු දායකත්වය ලබා දී තිබෙනවා.”

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිටින ලියාපදිංචි වූ රැකවරණය අහිමි දරුවන් සංඛ්‍යාව 14,000 ඉක්මවයි. ඕෆන්කෙයාර් වැඩසටහන දැනටමත් අනාථ නිවාස 82 ක දරුවන් 2,800 කට අධික පිරිසක් ආවරණය කරන අතර, ඉදිරියේදී දිවයිනේ සියලුම අනාථ දරුවන්ට යහපත සැලසීම මෙම වැඩසටහනේ අරමුණ වී ඇත. අමානා බැංකුවේ ‘ඕෆන්කෙයාර් වැඩසටහන යටතේ දරුවන්ට ප්‍රතිලාභ සැලසීමේදී, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ දෙවන වගන්තිය අනුව, දරුවන්ගේ, දෙමාපියන්ගේ හෝ නෛතික භාරකරුවන්ගේ ජාතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම, දේශපාලන හෝ වෙනත් මතවාද, ජාතික හෝ සමාජයීය පදනම, දේපළ, ආබාධිත බව, උපත හෝ වෙනත් කිසිදු තත්ත්වයක් සැලකිල්ලට නොගැනේ.

සමාජ සේවාවන් සම්බන්ධයෙන් ඉමහත් උනන්දුවක් හා පළපුරුද්දක් සහිත ප්‍රවීණයෝ පිරිසක් ඕෆන්කෙයාර් භාරයේ පරිපාලනය භාරව කටයුතු කරති. එම ප්‍රවීණයන් වන්නේ සභාපති රුස්ලි හුසේන් මහතා (ශ්‍රී ලංකා රොටරැක්ට් ව්‍යාපාරයේ නිර්මාතෘ), ඔස්මාන් කාසිම් මහතා (අමානා බැංකුවේ නිර්මාතෘ- හිටපු සභාපති), කේ. ආර්. රවීන්ද්‍රන් මහතා (ඇමරිකා එක්සත් ජනපදයේ රොටරි පදනමේ භාරකාර මණ්ඩලයේ සභාපති සහ ජාත්‍යන්තර රොටරි සමාජයේ හිටපු සභාපති), අරමුදලේ භාණ්ඩාගාරික රොහාන් තුඩාවේ මහතා (තුඩාවේ බ්‍රදර්ස් හි සභාපති), ශරාඩ් අමලියන් මහතා (මාස් හෝල්ඩින්ස් සමාගමේ සම නිර්මාතෘ), තයීබ් අක්බාර්(අ)ලි මහතා (අක්බාර් බ්‍රදර්ස් හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ), හර්ෂ අමරසේකර මහතා (ජනාධිපති නීතීඥ), ජස්රි මැග්ඩන් මහතා (AAT හි හිටපු සභාපති) සහ මොහොමඩ් අස්මීර් මහතා (අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී) යන මහත්වරුන් ය. ඕෆන්කෙයාර් වැඩසටහන විශ්වාසනීයත්වය අතින් ඉහළම මට්ටමින් පවත්වා ගැනීම සහ එහි දිගුකාලීන තිරසාරත්වය සහතික කිරීම උදෙසා වැඩසටහනේ භාරකරුවන් විසින් ශක්තිමත් පාලන රාමුවක් ස්ථාපිත කර තිබේ.

“අපගේ අරමුණු වලට සමාන අරමුණු සහිත සියලුම දෙනාට මෙම සත්කාරය සමග එක්වන මෙන් අප ආරාධනා කරනවා. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට, ඕෆන්කෙයාර් වැඩසටහනේ ප්‍රකාශ පත්‍රය සහ අනෙකුත් තොරතුරු www.amanabank.lk/orphan-care වෙත පිවිසීමෙන් හෝ 011 775 6 775 අංකය ඇමතීමෙන් ලබාගැනීමට පුළුවන්. එමෙන්ම www.bit.ly/orphan-care-video වෙත පිවිසී ඕෆන්කෙයාර් වැඩසටහන හා එහි පසුබිම පිළිබඳ වීඩියෝව නරඹන මෙන් මා සැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.” අසාද් සහීඩ් මහතා වැඩිදුරටත් පැවසී ය.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo