• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවේ ඕෆන්කෙයාර් (OrphanCare) වැඩසටහන වසරේ විශිෂ්ටතම සමාජ අභිවෘද්ධි ව්‍යාපෘතිය ලෙස රන් සම්මානයෙන් පිදුම් ලබයි

Amãna Bank January 19, 2021

අමානා බැංකුවේ ඕෆන්කෙයාර් (OrphanCare) වැඩසටහන වසරේ විශිෂ්ටතම සමාජ අභිවෘද්ධි ව්‍යාපෘතිය ලෙස රන් සම්මානයෙන් පිදුම් ලබයි

මෙම සම්මානය හිමිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕෆන්කෙයාර් භාරයේ සභාපති රුස්ලි හුසේන් මහතා මෙසේ පැවසී ය. “මෙම සම්මානය, දරුවන්ට සිය අනාගතය සම්බන්ධයෙන් යහපත් තෝරාගැනීම් සිදුකිරීමට අවස්ථාව ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත වඩාත් යහපත් කරමින් සිටින ඕෆන්කෙයාර් වැඩසටහන තවදුරටත් දිරිගැන්වීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. රැකවරණය අහිමි දරුවන් ළමා නිවාස වලින් නික්මී බාහිර ලෝකයට පා තබන අවස්ථාවේදී ඔවුන් මුහුණ දෙන ආර්ථික ගැටලු අවම කරන මෙම වැඩසටහනට ලැබෙන පිළිගැනීම ඉහළ යමින් තිබෙන බවට මෙම සම්මානය මනා සාක්ෂියක්. අප වෙත ලබාදෙන සහයෝගය වෙනුවෙන් ඕෆන්කෙයාර් වැඩසටහනේ භාරකරුවන්, අරමුදල් දායකයන් සහ හවුල්කරුවන් ඇතුළු සියලුම දෙනාට මගේ ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.”

ඕෆන්කෙයාර් වැඩසටහනේ ප්‍රධානී අසාද් සහීඩ් මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ පවා අපගේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙනයමින් දිගින් දිගටම අරමුදල් බෙදාදීමටත්, ප්‍රතිලාභ ලබන දරුවන් සංඛ්‍යාව වැඩි කිරීමටත් අප කටයුතු කර තිබෙනවා. මෙයින් පෙනී යන්නේ ඕෆන්කෙයාර් වැඩසටහන සම්බන්ධයෙන් පවතින උනන්දුව ඉහළ යමින් තිබෙන බවයි. මේ වනවිට අරමුදල් බෙදාහැරීම් වාර 5 ක් ඔස්සේ රැකවරණය අහිමි දරුවන් 2,800 කට අධික සංඛ්‍යාවකට ප්‍රතිලාභ සැලසීමට අමානා බැංකුවේ ඕෆන්කෙයාර් වැඩසටහන සමත් වී තිබෙනවා.”

ස්වාධීන භාර අරමුදලක් ලෙස ක්‍රියාකරන අමානා බැංකුවේ ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහන වන ඕෆන්කෙයාර් වැඩසටහන ආරම්භ කරන ලද්දේ, දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ අනාගත යහපත සම්බන්ධයෙන් ගත්විට අතිශයින් වැදගත්, එහෙත් ප්‍රමාණවත් අවධානයක් යොමු වී නොතිබුණු ගැටලුවක් සඳහා පිළියමක් වශයෙනි. එම ගැටලුව නම්, වයස අවුරුදු 18 පිරී ළමා නිවාස වලින් නික්ම යාමට සිදුවන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අභියෝගයයි. ළමා කාලයේදී රැකවරණය අහිමි වීමෙන් අනතුරුව ළමා නිවාස වලට පැමිණ, ඉන්පසු වැඩි වියට පත්වූ විට එම ආයතනික රැකවරණය මගින්ද ඔවුන් අත්හරිනු ලැබීම නිසා යුනිසෙෆ් සංවිධානය විසින් ‘දෙවන අත්හැරීම’ (The Second Abandonment) වශයෙන් හඳුන්වනු ලබන මෙම තත්ත්වය, දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ගැටලුවකි. අමානා බැංකුව තම ප්‍රජා සත්කාර වැඩසටහන හරහා උත්සාහ කරන්නේ, මෙම ගැටලුව විසඳීමේ එක් වැදගත් පියවරක් වන, එම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වන ආකාරයට අරමුදල් සම්පාදනය කිරීමට ය. ඒ සඳහා ඕෆන්කෙයාර් භාරය ප්‍රතිලාභී දරුවන්ට අවුරුදු 18 සපිරෙන තුරු ඔවුන්ගේ ගිණුම් වලට වරින් වර මුදල් බැරකරන අතර, ඉන්පසුව එම දරුවන්ට එම මුදල් ලබාගත හැකි වේ.

මෙම වැඩසටහනට අදාළ සියලුම පරිපාලන හා මෙහෙයුම් වියදම් බැංකුව මගින් දරනු ලබන නිසා, පරිත්‍යාග කරනු ලබන සියලුම මුදල් සම්පූර්ණයෙන්ම ප්‍රතිලාභී දරුවන් වෙත යොමු වීම මෙහි ඇති සුවිශේෂීම ලක්ෂණයකි. එමෙන්ම ඕෆන්කෙයාර් වැඩසටහන යටතේ දරුවන්ට ප්‍රතිලාභ සැලසීමේදී, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ දෙවන වගන්තිය අනුව, දරුවන්ගේ, දෙමාපියන්ගේ හෝ නෛතික භාරකරුවන්ගේ ජාතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම, දේශපාලන හෝ වෙනත් මතවාද, ජාතික හෝ සමාජයීය පදනම, දේපළ, ආබාධිත බව, උපත හෝ වෙනත් කිසිදු තත්ත්වයක් සැලකිල්ලට නොගැනේ.

අපගේ අරමුණු වලට සමාන අරමුණු සහිත සියලුම දෙනාට මෙම සත්කාරය සමග එක්වන මෙන් අප ආරාධනා කරනවා. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට, ඕෆන්කෙයාර් වැඩසටහනේ ප්‍රකාශ පත්‍රය සහ අනෙකුත් තොරතුරු www.amanabank.lk/orphan-care වෙත පිවිසීමෙන් හෝ 011 775 6 775 අංකය ඇමතීමෙන් ලබාගැනීමට පුළුවන්. එමෙන්ම www.bit.ly/orphan-care-video වෙත පිවිසී ඕෆන්කෙයාර් වැඩසටහන හා එහි පසුබිම පිළිබඳ වීඩියෝව නරඹන මෙන් මා සැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.” අසාද් සහීඩ් මහතා වැඩිදුරටත් පැවසී ය.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo