බදු-පසු ලාභය 92% කින්, බදු-පෙර ලාභය 78% කින්, තැන්පතු 10% කින් සහ නිකුත් කළ අත්තිකාරම් 14% කින් ඉහළට
අමානා බෑන්ක් පීඑල්සී සිය ඉතිහාසයේ වාර්තා කළ විශිෂ්ටතම මූල්‍ය ප්‍රතිඵල 2022 මූල්‍ය වර්ෂයේ ප්‍රථම කාර්තුවේදී වාර්තා කිරීමට සමත් වී තිබේ. බැංකුවේ බදු-පෙර ලාභය 78% කින්ද, බදු-පසු ලාභය 92% කින්ද වර්ධනය වී ඇති අතර, ආර්ථික අභියෝග රාශියක් පවතින වාතාවරණයක පවා තැන්පතු සහ ලබාදුන් අත්තිකාරම් වල ඉලක්කම් දෙකේ වර්ධනයන් වාර්තා කරගනිමින් මෙම සාර්ථකත්වය අත්පත් කරගැනීමට අමානා බැංකුව සමත් වී ඇත. මෙය අභියෝග වලට මුහුණ දීමට බැංකුව සතු හැකියාවට මෙන්ම, බැංකුවේ සුවිශේෂී මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියට රට තුළ ඇති පිළිගැනීම ඉහළ යමින් පවතින බවටද මනා සාක්ෂියකි.
2021 වසරේදී දී වාර්තාගත කෙටි කාලයක් තුළ බදු-පෙර ලාභය රු. බිලියන 1 සීමාව පසුකළ අමානා බැංකුව, 2022 ප්‍රථම කාර්තුවේදී රු. මිලියන 385.8 ක බදු පෙර ලාභයක් සහ, රු. මිලියන 250.7 ක බදු-පසු ලාභයක් වාර්තා කිරීමට සමත් විය. 2021 වර්ෂයේ ප්‍රථම කාර්තුවේදී මෙම අගයන් පිළිවෙළින් රු. මිලියන 217.1 ක් සහ රු. මිලියන 130.6 ක් විය.
රටේ ආර්ථිකයේ පුනර්ජීවනයට හා වර්ධනයට මහෝපකාරී වන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීම, අමානා බැංකුවේ පාරිභෝගික අත්තිකාරම් සහ පාරිභෝගික තැන්පතු ප්‍රමාණයන් මෙතරම් දුරකට වර්ධනය වීමට ප්‍රධානතම හේතුවක් වී තිබේ. 2022 ප්‍රථම කාර්තුව තුළදී පාරිභෝගික තැන්පතු ප්‍රමාණය රු. බිලියන 100 සීමාව පසුකළ අතර, කාර්තුව අවසානයේදී 10% ක වර්ධනයක් සමගින් පාරිභෝගික තැන්පතු ප්‍රමාණය රු. බිලියන 106.0 ක් ලෙස වාර්තා වී ඇත. අදාළ කාලසීමාව අවසානයේදී පාරිභෝගික අත්තිකාරම් ප්‍රමාණය රු. බිලියන 86.7 ක් වූ අතර, එය මාස තුනක් තුළ 14% ක වර්ධනයකි.
ලබාදුන් අත්තිකාරම් ප්‍රමාණයේ වර්ධනය සහ 3.5% ක් වැනි යහපත් මූල්‍ය සම්පාදන ආන්තිකයක් හේතුවෙන්, පෙර වසරේ අදාළ කාලසීමාව තුළ රු. මිලියන 891.9 ක් වූ බැංකුවේ ශුද්ධ මූල්‍ය සම්පාදන ආදායම, මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ 26% කින් වර්ධනය වී, රු. බිලියන 1.1 ක් ලෙස වාර්තා වී තිබේ. ආනයන පාලනයන් සහ විදේශ මුදල් වෙළඳපොළේ පවතින බාධාවන් හේතුවෙන් ගාස්තු සහ විදේශ වෙළඳ කටයුතු ආදායම් වලට බලපෑම් එල්ල වුවද, බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 41% කින් වර්ධනය වී රු. බිලියන 1.46 ක් ලෙස වාර්තා වන අතර, ශුද්ධ මෙහෙයුම් ආදායම, ප්‍රමාණවත් පරිදි අත්තිකාරම් හානි ගණනය කිරීමෙන් අනතුරුව, 30% කින් වර්ධනය වී රු. බිලියන 1.22 ක් ලෙස වාර්තා වී ඇත.
2022 මාර්තු මාසයේදී ආර්ථිකයේ සමස්ත උද්ධමනය 21% ඉක්මවා ගිය නමුත් තම මෙහෙයුම් වියදම් ඉහළ යාම 8% මට්ටමේ පවත්වා ගැනීමට බැංකුව සමත් විය. මින් අනතුරුව, මූල්‍ය සේවා මත පනවන ලද වැට් බදු වලට පෙර බැංකුවේ මෙහෙයුම් ලාභය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 75% කින් වර්ධනය වී, රු. මිලියන 541.4 ක් ලෙස සටහන් වී තිබේ. බැංකුවේ සමස්ත බදු දායකත්වය වන රු. මිලියන 290.7, මෙම කාර්තුවේ සියලු බදු වලට පෙර මෙහෙයුම් ලාභයෙන් 54% කි.
2022 මාර්තු 31 දිනය අවසන් වන විට බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය, කාර්තුව තුළ 14% ක් වැනි සැලකිය යුතු අගයකින් වර්ධනය වී. රු. බිලියන 139.6 ක් ලෙස වාර්තා වී තිබේ. සේවා කළඹ කළමනාකරණය සහ නිසි කලට ගනුදෙනුකරුවන් හා සම්බන්ධ වී අත්තිකාරම් නැවත අයකර ගැනීමට කටයුතු කිරීම නිසා, බැංකුවේ අක්‍රීය අත්තිකාරම් ප්‍රමාණයන් ක්ෂේත්‍රයේ සාමාන්‍ය අගයන්ට වඩා පහළින් රඳවා ගැනීමට හැකි වී ඇති අතර, එහි ශුද්ධ අක්‍රීය අත්තිකාරම් අනුපාතය සහ දළ අක්‍රීය අත්තිකාරම් අනුපාතය පිළිවෙළින් 0.5% සහ 2.8% කි. එමෙන්ම 2022 ප්‍රථම කාර්තුව අවසන් වන විට බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය අවම නියාමන මට්ටමට වන 12.5% ට වඩා පැහැදිලි ලෙසම ඉහළින්, එනම් 14.4% ක් ලෙස පැවතිණි.
“ප්‍රථම කාර්තුවේදී මෙවැනි විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කරගැනීමට හැකිවීම පිළිබඳව මා බෙහෙවින් සතුටට පත්වනවා. මෙය අපගේ ඉතිහාසයේ එක් කාර්තුවකදී වාර්තා කළ විශිෂ්ටතම මූල්‍ය ප්‍රතිඵලයි. ආර්ථික අවිනිශ්චිතතාවන් බහුල කාලයක මෙම ප්‍රතිඵල වාර්තා කරගැනීමට අපට හැකියාව ලැබීම විශේෂත්වයක්. පවතින ආර්ථික අභියෝග වලට මුහුණ දීම සඳහා අපගේ ජනතා හිතවාදී බැංකුකරණ විසඳුම් වඩාත් සුදුසු බව මා දැඩි ලෙස විශ්වාස කරනවා. 2018 වසරේ සිටම අපගේ රටේ ආර්ථිකය නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දුන්නා. ඒ ඔස්සේ උගත් පාඩම්, ඉදිරි අභියෝග වලට වඩාත් සාර්ථක ලෙස මුහුණ දෙන්නේ කෙසේද යන්න අපට කියා දී තිබෙනවා.” අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.
“අමානා බැංකුව කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳව මා මුලින්ම මගේ කෘතඥතාව පළකර සිටිනවා. අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීමද සමගින්, මේ දුෂ්කර කාලසීමාවේදී මුහුණ දීමට සිදුවන අභියෝග ජයගැනීම සඳහා ජනතාවට අත්වැලක් වීමට අප සූදානම්. ජනතාවගේ අවශ්‍යතාවන් හඳුනා ගනිමින්, එම අවශ්‍යතාවන්ට ගැළපෙන මූල්‍ය විසඳුම් පිරිනැමීමට අප දිගින් දිගටම කටයුතු කරනවා. එය මේ මොහොතේ ජාතික අවශ්‍යතාවක්. ඒ ඔස්සේ, සියලුම දෙනා වෙනුවෙන් වඩාත් යහපත් හෙට දිනයක් නිර්මාණය කිරීමට දායක වීමට අප සූදානම්.” අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා පැවසී ය.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි 2021 සැප්තැම්බර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.