මුල්ම වරට සිදුකරන ලද, ශ්‍රී ලංකාවේ සම්මානලාභී සමාගම් හා ආයතන ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ 11 වන ස්ථානයට පත්වීමට අමානා බැංකුව සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිළිගැනීමක් හිමි සහ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ ආයතන අතරින් එකක් ලෙස බැංකුව සතු කීර්තිනාමය නැවත වරක් තහවුරු වී තිබේ. මේ ආකාරයට මෙරට සම්මාන වැඩිම ගණනකින් පිදුම් ලැබූ සමාගම් හා ආයතන ශ්‍රේණිගත කිරීම සිදුකරන ලද්දේ මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව මගිනි. මෙහිදී අදාළ සමාගම් හා ආයතන විසින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දිනාගන්නා ලද සම්මාන සැලකිල්ලට ගනිමින්, සම්මාන වැඩිම සංඛ්‍යාවකින් පිදුම් ලැබූ සමාගම් හා ආයතන 50 නම් කරන ලදි.
මෙම ඇගයුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසී ය. "දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර තලයේදීද සම්මාන වලින් පිදුම් ලබමින් තම සමාගම් හා ආයතන වලට පමණක් නොව රටටද කීර්තියක් ගෙනදුන් සමාගම් හා ආයතන අතරට මෙලෙස එක්වීමට ලැබීම අපට මහත් සතුටක්. අපට හිමිවූ මෙම සම්මාන හා ඇගයුම්, අපගේ මානුෂ හිතවාදී බැංකු සේවා විසඳුම් සම්බන්ධයෙන් ඇති පිළිගැනීම සහ ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතින බවට හොඳ සාක්ෂියක් ලෙස මා දකිනවා. එලෙස අප වෙත තබන ලද විශ්වාසය වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන්, කොටස් හිමිකරුවන් සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සියලුම දෙනාට මගේ ස්තූතිය හිමිවිය යුතු යි."
මෙරට වැඩිම සම්මානලාභී සමාගම් හා ආයතන ශ්‍රේණිගත කිරීම සඳහා සැලකිල්ලට ගන්නා ලද කාලසීමාව තුළ අමානා බැංකුවට දේශීය හා ජාත්‍යන්තර සම්මාන 16 ක් හිමි වී තිබේ. Global Finance සඟරාව, The Banker සඟරාව, Global Banking and Finance Review සඟරාව, සහ දකුණු අප්‍රිකාවේ Islamic Finance Forum වෙතින් හිමිවූ ජාත්‍යන්තර සම්මාන මෙන්ම දේශීය තලයේදී KPMG Sri Lanka (SLIBFI සම්මාන උළෙල), CIM Sri Lanka (SLIBFI Marketing සම්මාන උළෙල), Lanka Clear (LankaPay Technovation සම්මාන උළෙල) සහ LMD වෙතින්ද අමානා බැංකුවට සම්මාන හා ඇගයුම් හිමිවී ඇත. එමෙන්ම අදාළ කාලසීමාව තුළදී, ඕෆන්කෙයාර් (OrphanCare) ප්‍රජා සත්කාර වැඩසටහන වෙනුවෙන්, ඕමානයේ පැවති Islamic Retail Banking සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම සමාජයීය වශයෙන් වගකීම්සහගත බැංකුව ලෙස අමානා බැංකුව ඇගයීමට ලක්වූ අතර, එම ව්‍යාපෘතිය වෙනුවෙන් 2020 SLIBFI සම්මාන උළෙලේදී විශිෂ්ටතම සමාජ අභිවෘද්ධි ව්‍යාපෘතිය සඳහා වන සම්මානයද, දකුණු අප්‍රිකාව පාදනම් කරගත් IFFSA (2020) සම්මාන උළෙලේදී විශිෂ්ටතම ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය සඳහා වන ගෝලීය සම්මානයද හිමි විය. 2020 වසරේදී World HRD Congress මගින් අමානා බැංකුව වෙත 'ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාමය' සඳහා වන සම්මානයද පිරිනමන ලදී.
ආරම්භයේ පටන් මේ දක්වා තමන් වෙත හිමිවූ සම්මාන අතරින් වඩාත්ම ගෞරවණීය සම්මානය ලෙස අමානා බැංකුව විසින් සලකනු ලබන්නේ, Global Finance මගින් පිරිනමන ලද 'ලොව විශිෂ්ටතම නැගී එන ඉස්ලාමික බැංකුව' සම්මානයයි. එම සම්මානය බැංකුවට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම හිමිවූ ගෞරවයකි.
අමානා බැංකුව යනු ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින, පොලී රහිත සහ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියට පූර්ණ වශයෙන් අනුගතව මෙහෙයුම් සිදුකිරීම සඳහා මෙරට තුළ බලපත්‍ර හිමි ප්‍රථම සහ එකම පෞද්ගලික බැංකුවයි. ‘සංවර්ධනයට අත්වැලක් සහ ඉසුරුමත් ජීවිතයක්’ ඉලක්ක කරගත් එම බැංකුව මේ වනවිට ක්‍රමයෙන් වර්ධනය වන ශාඛා හා ස්වයං බැංකුකරණ සේවා ජාලයක් ඔස්සේ ජනතාවට සේවය සලසන අතර එහි ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර 4500 කට අධික සංඛ්‍යාවක් සහ, ක්ෂණික තැන්පතු සඳහා Pay&Go යන්ත්‍ර 850 කට අධික සංඛ්‍යාවක් භාවිතා කිරීමට අවස්ථාව හිමි වී තිබේ. තවද අන්තර්ජාල හා ජංගම දුරකථන බැංකුකරණ පහසුකම්, පැය 24 පුරා ක්‍රියාත්මක මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර සහ කාන්තාවන් සඳහා වෙනම බැංකුකරණ ඒකක වැනි පහසුකම්ද පිරිනැමීමට අමානා බැංකුව මේ වනවිට පියවර ගෙන ඇත.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ඕෆන්කෙයාර්’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.