• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවේ සමස්ත වත්කම් රු. බිලියන 100 ඉක්මවයි; මෙහෙයුම් ලාභය රු. බිලියනය පසුකරයි

Amãna Bank February 24, 2021

අමානා බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම 2020 වසර තුළදී රු. බිලියන 100 සීමාව පසුකිරීමට සමත් විය. වසර 9 ක් වැනි කෙටි කාලයක් තුළ මෙම මට්ටමට ළඟා වීමට හැකිවීම, බැංකුවේ වේගවත් වර්ධනයට මනා සාක්ෂියකි. COVID-19 රෝග ව්‍යාප්තියත් සමග වසරේ මුල් කාර්තු 3 තුළ ශක්තිමත් ලෙස එම අභියෝගයන්ට මුහුණ දීමටත්, 4 වන කාර්තුව තුළදී සිය වේගවත් ඉදිරි ගමන නැවත ආරම්භ කිරීමටත් අමානා බැංකුව සමත්ව  අතර, 51% ක විශිෂ්ට වර්ධනයක් සමග, 2019 වසරේ 4 වන කාර්තුවේ වාර්තා වූ බදුවලට පෙර ලාභය වන රු. මිලියන 246.2 ට සාපේක්ෂව 2020 වසරේ 4 වන කාර්තුවේදී රු. මිලියන 372.1 ක බදුවලට පෙර ලාභයක් වාර්තා කරගෙන තිබේ. මෙම කාලසීමාව තුළ බදුවලට පසු ලාභය රු. මිලියන 213.3 කි. 2020 වසරේ 3 වන කාර්තුවට සාපේක්ෂව 4 වන කාර්තුවේදී බදුවලට පෙර හා පසු ලාභයන් පිළිවෙළින් 168% ක සහ 167% ක වර්ධනයක් වාර්තා කර ඇත. මේ ආකාරයට 4 වන කාර්තුවේදී වාර්තා කළ විශිෂ්ට ක්‍රියාකාරීත්වය නිසා 2020 වසරේ මාස 12 තුළ බදුවලට පෙර ලාභය ලෙස රු. මිලියන 761.4 ක් සහ බදුවලට පසු ලාභය ලෙස රු. මිලියන 463.7 ක් වාර්තා කිරීමට අමානා බැංකුවට හැකියාව ලැබිණි. 2020 වසරේ බදුවලට පසු ලාභය, 2019 වසරේ වාර්තා වූ බදුවලට පසු ලාභය වන රු. මිලියන 460.9 ට වඩා වැඩි අගයක් ගනී.

3.7% ක යහපත් මූල්‍ය සම්පාදන ආන්තිකයක් සමගින් පෙර වසරට සාපේක්ෂව බැංකුවේ ශුද්ධ මූල්‍ය සම්පාදන ආදායම 9% කින් වර්ධනය වී රු. බිලියන 3.45 මට්ටමට පැමිණ තිබේ. මෙය 4 වන කාර්තුවේ පමණක් රු. බිලියන 1.13 ක් වූ අතර, එය 2019 වසරේ 4 වන කාර්තුවට සාපේක්ෂව 53% ක වර්ධනයකි. ආනයන පාලන විධිවිධාන නිසා ජාත්‍යන්තර වෙළඳාම් සම්බන්ධ ගාස්තු ආදායම් වලට බලපෑමක් එල්ල වුවද 2020 වසරේදී රු. බිලියන 3.72 ක ශුද්ධ මෙහෙයුම් ආදායමක් වාර්තා කිරීමට අමානා බැංකුවට හැකියාව ලැබිණි. වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් අඛණ්ඩව අවධානය යොමුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් වියදම් අවම කරගැනීමෙන් අනතුරුව, VAT, NBT සහ DRL බදු වලට පෙර රු. බිලියන 1.15 ක මෙහෙයුම් ලාභයක් 2020 වසර තුළ වාර්තා කිරීමට බැංකුව සමත් වී තිබේ. බැංකුවේ සමස්ත බදු දායකත්වය වන රු. මිලියන 691 එහි සියලු බදුවලට පෙර මෙහෙයුම් ලාභයෙන් 60% ක් විය.

අභියෝගාත්මක වෙළඳපොළ හා ආර්ථික තත්ත්වයන් හමුවේ පවා පාරිභෝගික තැන්පතු සම්බන්ධයෙන් අඛණ්ඩ වර්ධනයක් පවත්වා ගැනීමට අමානා බැංකුවට හැකියාව ලැබී තිබේ. එහි සමස්ත එකතුව රු. බිලියන 83.6 ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 17% ක් වැනි ඉහළ වර්ධනයකි. මීට අමතරව 2019 වසරේදී 39% ක් වූ අමානා බැංකුවේ ජංගම ගිණුම්-ඉතුරුම් ගිණුම් අනුපාතය 2020 වසර අවසානය වනවිට 45% ක් බවට පත්වී ඇත. එය ජංගම හා ඉතුරුම් ගිණුම් සේවාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා වසර පුරාම බැංකුව දැඩි අවධානයක් යොමුකිරීමේ ප්‍රතිඵලයකි.

ණය සම්බන්ධ ඉල්ලුම පහළ ගොස් ඇති පසුබිමක් තුළ පවා, 2020 වසරේ රටේ පෞද්ගලික ක්ෂේත්‍රයේ ණය වර්ධන මට්ටම ඉක්මවා යමින්, වසර අවසානය වන විට පාරිභෝගික අත්තිකාරම් ලෙස රු. බිලියන 62.6 ක් වාර්තා කරමින් පෙර වසරට සාපේක්ෂව 8% ක වර්ධනයක් අත්පත් කරගැනීමට අමානා බැංකුවට හැකිවී තිබේ. දුෂ්කර වෙළඳපොළ තත්ත්වයන් හමුවේ පවා සේවා  එකතුව කළමනාකරණය කිරීමේ සහ, කාලෝචිත ලෙස ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගැනීමේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අක්‍රීය වත්කම් අනුපාතය ක්ෂේත්‍රයේ සාමාන්‍යයට වඩා පැහැදිලි ලෙසම පහළ මට්ටමක රඳවා ගනිමින්, ශුද්ධ අක්‍රීය වත්කම් අනුපාතය සහ සහ දළ අක්‍රීය වත්කම් අනුපාතය පිළිවෙළින් 1.4% සහ 4.0% මට්ටමේ පවත්වා ගැනීමට අමානා බැංකුව සමත් වී ඇත. ස්ථාවර ශේෂ පත්‍ර වර්ධනය සහ ක්‍රමෝපායික සැලසුම කාර්යක්ෂම ලෙස ක්‍රියාවට නැංවීම යනාදියෙහි ප්‍රතිඵලයක් ලෙස බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම පෙර වසරට සාපේක්ෂව 16% කින් වර්ධනය වී රු. බිලියන 100.2 මට්ටමට ළඟා වී තිබේ.

යහපත් මූල්‍ය තත්ත්වය හේතුවෙන් ලාභාංශ ගෙවීමේ කටයුතු නොකඩවා සිදුකරන ලදි. ඒ අනුව, අඛණ්ඩව සිදුකරන ලද 3 වන ලාභාංශ ගෙවීම 2020 වසරේදී සිදුකරන ලද අතර එය බැංකුවේ කොටස් හිමිකරුවන් තැබූ විශ්වාසය සම්බන්ධයෙන් කෘතඥතාව පළකිරීමක් ලෙස හැඳින්විය හැක. සියලුම බැංකු මුදල් වලින් ලාභාංශ ගෙවීම වළක්වාලමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද විධිවිධාන අනුව මෙම ලාභාංශ ගෙවීම කොටස් ලාභාංශ ගෙවීමක් ලෙස සිදුකෙරිණි. බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 2020 දෙසැම්බර් 31 වන විට 17.4% වැනි යහපත් මට්ටමක පැවති අතර එය නියමිත අවම මට්ටමට වඩා බෙහෙවින් ඉහළ අගයක් වේ.

2020 වසරේ ජූනි මාසයේදී ෆිච් රේටිංස් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ජාතික වර්ගීකරණ මට්ටම් සංශෝධනය කිරීමට සාපේක්ෂව අමානා බැංකුවේ ණය වර්ගීකරණයද BB(lka)  හි සිට ' BB+(lka) with a Stable Outlook' ලෙස සංශෝධනය විය. 2020 ඔක්තෝබර් මාසයේදී සිදුකරන ලද නවතම විශ්ලේෂණයේදී ෆිච් රේටිංස් ආයතනය විසින් මෙම වර්ගීකරණය නැවත වරක් තහවුරු කරන ලදී.

අමානා බැංකුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ පැවසී ය. "2020 වසරේදී මුහුණ දීමට සිදුවූ අති දුෂ්කර ආර්ථික වාතාවරණය හමුවේ පවා අමානා බැංකුව අභියෝග වලට මුහුණ දීමේ හැකියාව පෙන්නුම් කරමින් යහපත් ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වුණා. අපට එසේ කිරීමට හැකි වුණේ අපගේ ව්‍යාපාරික ආකෘතියට පාදක වී ඇති මූලික ශක්තීන්, ශේෂ පත්‍රය සහ ශක්තිමත් ප්‍රාග්ධන තත්ත්වය ආදිය නිසයි. මෙම ප්‍රතිඵල අත්පත් කරගැනීම සඳහා පෙන්නුම් කළ උනන්දුව හා කැපවීම වෙනුවෙන් මම අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම සාමාජිකයන්, මෑතකදී විශ්‍රාම ගත් නිර්මාතෘ-සභාපති ඔස්මාන් කාසිම් මහතා සහ අනෙකුත් විශ්‍රාමික අධ්‍යක්ෂවරුන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම දෙනාට මගේ ස්තූතිය පළකිරීමට කැමතියි. ඒ වගේම මෙම අර්බුදය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව ගත් ඉක්මන් හා කාලෝචිත පියවර වලටත් මගේ ස්තූතිය හිමිවනවා. එම පියවර මගින් ජනතාවට අත්‍යවශ්‍ය වූ සහන හිමිවීමට අමතරව, බලපෑමට ලක්වූ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර යළි නගාසිටුවීමට අවශ්‍ය අත්වැලත්, බැංකු වල ද්‍රවශීලතාව නැංවීමට අවශ්‍ය පසුබිමත් ඇතුළුව 2020 වසරේ අභියෝග වලට මුහුණ දෙමින් ඉදිරියට යාමට අවශ්‍ය බොහෝ සහයෝගයන් හිමි වුණා. එමෙන්ම COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ වුවත් අපගේ ප්‍රජා සත්කාරයන් නතර වූයේ නැහැ. OrphanCare ව්‍යාපෘතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් 2020 වසර තුළ අරමුදල් බෙදාදීම් වාර 4 ක් සම්පූර්ණ කළා. මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභ ලැබූ දෙමාපිය රැකවරණ අහිමි දරුවන් සංඛ්‍යාව 2,800 කට අධිකයි. ඒ වෙනුවෙන් අපගේ භාරකාර මණ්ඩලය සහ දානපතියන් මෙන්ම අපගේ ගෞරවණීය විගණනකරුවන් වන Ernst & Young සමාගමටත්, අපගේ අරමුණ සම්බන්ධයෙන් විශ්වාසය තැබූ අනෙකුත් සියලුම දෙනාත් මගේ ස්තූතිය පළකර සිටිනවා."

අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. "COVID-19 රෝග ව්‍යාප්තිය නිසා, අපගේ ගනුදෙනුකරුවන්ට, ව්‍යාපාර වලට, ප්‍රජාවන්ට හා සමස්තයක් ලෙස මුළු රටටම අත්වැලක් වීම සඳහා අප දක්වන උනන්දුව මැනැවින් පෙන්නුම් කිරීමට අවස්ථාවක් ලැබුණු බව මා සිතනවා. ඒ සඳහා ඉමහත් උනන්දුවෙන් හා ක්‍රියාශීලී ලෙස කැපවුණු අපගේ කණ්ඩායමට මාගේ කෘතඥතාව හිමිවිය යුතුයි. ඒ වගේම අපට මේ අභියෝග හමුවේ ඉදිරියට යාමට ශක්තිය ලබාදුන් අපගේ අධ්‍යක්ෂවරුන්, කොටස් හිමිකරුවන්, ගනුදෙනුකරුවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සියලුම දෙනාත් මාගේ ස්තූතිය හිමිවනවා. අපගේ ඉදිරි ගමනට පන්නරය ලබාදෙන මෙම ශක්තිය සමගින්, 2021 වසරේ අභියෝග පහසුවෙන් ජයගැනීමට අමානා බැංකුවට හැකිවනු ඇති බවට මට කිසිදු සැකයක් නැහැ."

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo