• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව SLIBFI සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම ගනුදෙනුව’ සම්මානය දිනාගනී

Amãna Bank December 6, 2021

පසුගියදා පැවති 2021 SLIBFI සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම ගනුදෙනුව’ සඳහා වන සම්මානය දිනාගැනීමට අමානා බැංකුව සමත් විය. UTO EduConsult මගින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරාගන්නා ලද්දේ KPMG මගිනි.

දේශීය හා ජාත්‍යන්තර මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවාවන් පවත්වාගෙන යන පෞද්ගලික ගුවන් සේවාවක් වන Fits Aviation වෙත මූල්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් අමානා බැංකුව වෙත මෙම සම්මානය හිමි විය. Fits Aviation සමාගමේ දීර්ඝකාලීන මූල්‍ය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සහ, භාණ්ඩ ප්‍රවාහනයට සුදුසු පරිදි සකස් කරන ලද A320-200 ගුවන් යානයක් කුලී පදනම මත ලබාගැනීමට අදාළ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන් සඳහා මෙම මූල්‍ය පහසුකම් සැපයීම සිදුකරන ලදි.

“මෙම සම්මානය දිනාගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. පොලී රහිත අපගේ බැංකුකරණ ආකෘතිය, මහා පරිමාණ ව්‍යපෘති වලට මූල්‍ය පහසුකම් සැපයීම සඳහා ඉතා සුදුසු බව මෙමගින් මනාව පැහැදිලි වනවා. අප Fits Aviation සමග අත්වැල් බැඳගත්තේ, අපනයන නංවාලීම සඳහා රටේ අවධානය දැඩි ලෙස යොමු වී ඇති මොහොතකයි. ජාත්‍යන්තර ගුවන් ගමන් සීමා වූ කාලයක Fits Aviation සමාගම, විශේෂයෙන්ම නශ්‍ය භාණ්ඩ (Perishable Goods) අපනයනය සඳහා විශ්වාසදායී ක්‍රමයක් සැපයූවා. එමෙන්ම COVID-19 එන්නත්, ඖෂධ සහ පෞද්ගලික ආරක්ෂක උපාංග ආදිය රට තුළට රැගෙන ඒමටත්, අත්‍යවශ්‍ය සේවා කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරීමටත් ඔවුන් විශාල කාර්යභාරයක් ඉටුකළා. මීට අමතරව ආයතනික ප්‍රජා සත්කාරයක් වශයෙන්, යාපනය ප්‍රදේශයට COVID-19 එන්නත් ප්‍රවාහනය කිරීමටත් Fits Aviation කටයුතු කළ බව විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.” අමානා බැංකුවේ උප සභාපති (ව්‍යාපාර බැංකුකරණ) ඉර්ෂාඩ් ඉක්බාල් මහතා පැවසී ය.

FitsAir සන්නාමය යටතේ ක්‍රියාත්මක වන Fits Aviation සමාගම රටේ ගුවන් සේවා කර්මාන්තයේ පුරෝගාමී සමාගමකි. ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ බලපත්‍ර හිමි වූ ප්‍රථම ශ්‍රී ලාංකික පෞද්ගලික ගුවන් සේවාව එයයි. ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක්ද වන එය සතුව මේ වනවිට Air Bus A320-200 ගුවන් යානයක්, ATR-72 ගුවන් යානයක්, Cessna 208 ගුවන් යානා දෙකක් සහ Cessna 152 ගුවන් යානා දෙකක් ඇති අතර, අත්දැකීම් බහුල ගුවන් නියමුවන් හා ගුවන් සේවක සේවිකාවන් ඇතුළු කාර්ය මණ්ඩලයක් එහි සේවය කරති. Fits Aviation සමාගම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මාලේ, ඩුබායි, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, නයිරෝබි, බැංගලෝරය, කොචි, ත්‍රිවේන්ද්‍රම්, චෙන්නායි, යැන්ගොන් සහ සයිගොන් වෙත භාණ්ඩ ප්‍රවාහනය සිදුකරයි. මෙම වසරේ අවසානයට පෙර තවත් A320-200 ගුවන් යානයක් යොදවා නව ගමනාන්තයන් කිහිපයක් වෙත ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමට සමාගම සැලසුම් කර ඇත. ළඟදීම ATR-72 ගුවන් යානයක් යොදාගනිමින් යාපනය සහ මඩකලපුව වෙත මගී ගුවන් ගමන් ආරම්භ කිරීමටද සමාගම බලාපොරොත්තු වන අතර, Cessna 208 යානා යොදවා කුලී ගුවන් ගමන්, සංචාරක ගුවන් ගමන් සහ ස්කයි ඩයිවින් සේවා වැනි සේවාවන්ද ලබාදීමටද කටයුතු යොදා තිබේ. එපමණක් නොව, කුඩා පරිමාණ ගුවන් සේවා සමාගම් අතර තවත් පුරෝගාමී පියවරක් ඉදිරියට තබමින්, ඉදිරියේදී රත්මලාන සහ යාපනය ගුවන් තොටුපළවල සිට ජාත්‍යන්තර මගී ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමටද Fits Aviation සමාගම සැලසුම් කර ඇත.

වසරේ විශිෂ්ටතම ගනුදෙනුව සම්මානය දිනාගැනීමට අමතරව, 2021 SLIBFI සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ආයතනය සහ වසරේ විශිෂ්ටතම අලෙවිකරණ වැඩසටහන යන කාණ්ඩ යටතේ රන් සම්මාන දිනාගැනීමටද අමානා බැංකුවට හැකියාව ලැබිණි. මෙම සම්මාන උළෙල මෙවර පවත්වන ලද්දේ 10 වන වරට ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2020 ඔක්තෝබර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo