A- A A+
සෙවීමට
  • Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවට තවත් ජාත්‍යන්තර සම්මාන 3 ක්

Amana Bank April 7, 2021
  • වේගයෙන්ම වර්ධනය වන පාරිභෝගික බැංකුව - ශ්‍රී ලංකාව
  • විශිෂ්ටතම ප්‍රවාසික බැංකු සේවාවන් - ශ්‍රී ලංකාව
  • විශිෂ්ටතම ආයතනික ප්‍රජා සත්කාර බැංකුව - ශ්‍රී ලංකාව

අමානා බැංකුව මෙරට ප්‍රමුඛතම බැංකු අතර තමන්ට හිමි ස්ථානය නැවත වරක් තහවුරු කරගනිමින්, එක්සත් රාජධානිය පදනම් කරගත් 'Global Banking and Finance Review' සඟරාව වෙතින් 'වේගයෙන්ම වර්ධනය වන පාරිභෝගික බැංකුව - ශ්‍රී ලංකාව' සම්මානය හිමිකර ගැනීමට සමත් විය.

එමෙන්ම විදේශගතව සේවය කරන හා විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන්, විශේෂයෙන්ම Expat Gold විසඳුම හරහා ලබාදුන් සේවාවන් උදෙසා 'විශිෂ්ටතම ප්‍රවාසික බැංකු සේවාවන් - ශ්‍රී ලංකාව' සම්මානයද දිනාගැනීමට අමානා බැංකුවට හැකියාව ලැබිණි.

මීට අමතරව, OrphanCare ප්‍රජා සත්කාර වැඩසටහන සහ එමගින් COVID-19 රෝග ව්‍යාප්තිය අතරතුර පවා, රැකවරණය අහිමි දරුවන් 3,000 කට අධික පිරිසකට ප්‍රතිලාභ සලසන ලද ආකාරය සැලකිල්ලට ගනිමින්, Global Banking and Finance Review සඟරාව මගින් 'විශිෂ්ටතම ආයතනික ප්‍රජා සත්කාර බැංකුව - ශ්‍රී ලංකාව' සම්මානයද අමානා බැංකුවේ වෙත පිරිනමන ලදි.

මෙම සම්මාන සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහමඩ් අස්මීර් මහතා මෙසේ පැවසී ය. "ශ්‍රී ලංකාවේ සක්‍රීය සහ අතිශය තරගකාරී බැංකු ක්ෂේත්‍රය තුළ අප සතු ස්ථානය නැවත වරක් තහවුරු කරමින් මෙම සම්මාන හිමිකර ගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙම සම්මාන මගින් පසුගිය වසර කිහිපය තුළ අප අත්පත් කරගත් සාර්ථකත්වය මැනැවින් නිරූපණය වනවා. එම කාලසීමාව තුළ නොයෙකුත් අනපේක්ෂිත අභියෝග වලට මුහුණදීමට සිදුවුවත් එම අභියෝග සියල්ල ජයගැනීමට අපට හැකිවුණා. අප හඳුන්වා දී ඇති සුවිශේෂී සේවාවක් වන ප්‍රවාසික බැංකු සේවාව වෙනුවෙන් මෙලෙස සම්මාන හිමිවීම ගැන මට විශේෂයෙන් සතුටු වන්නට පුළුවන්. එය විදේශ රටවල සේවය කරමින් රටට විදේශ විනිමය උපයා දෙන රටවිරුවන් අතර අතිශය ජනප්‍රිය සේවාවක්. එමෙන්ම, OrphanCare වැඩසටහනත් මේ ආකාරයට දිගින් දිගටම ඇගයීමට ලක්වීම ගැන මා බෙහෙවින් සතුටු වනවා. දැනටමත් එම වැඩසටහන යටතේ දිවයිනේ අනාථ නිවාස 80 කට වැඩි සංඛ්‍යාවක වෙසෙන දරුවන් 3,000 කට අධික පිරිසකට අත්වැලක් වෙමින්, වයස අවුරුදු 18 න් පසුව ඔවුන් නැවතත් අත්හැර දමනු ලැබීමේ අවදානමින් මුදවා ගැනීමට විශාල දායකත්වයක් දැක්වීමට අපට හැකිවී තිබෙනවා." 

2020 වසරේදී තවත් සුවිශේෂී කඩඉමක් පසුකරමින්, සමස්ත වත්කම් වටිනාකම අතින් රු. බිලියන 100 සීමාව ඉක්මවා යාමට අමානා බැංකුව සමත් විය. ආරම්භයේ සිට වසර 9 ක් ඇතුළත මෙම සීමාව පසුකර යාමට බැංකුව සමත් වීම සුවිශේෂී ජයග්‍රහණයකි. මෙය ඉතා කෙටි කාලයක් තුළ අමානා බැංකුව අත්පත් කරගෙන ඇති වර්ධනයට මෙන්ම, වෙළඳපොළ තුළ හිතකර නොවන තත්ත්වයන් හමුවේ පවා සැලකිය යුතු ලෙස තම ශේෂ පත්‍රය වර්ධනය කරගැනීමට බැංකුව සතු හැකියාවට මනා සාක්ෂියක් ලෙස සැලකිය හැක. 2020 අවසානය වනවිට පාරිභෝගික තැන්පතු සම්බන්ධයෙන්ද ශක්තිමත් වර්ධන ප්‍රවණතාවක් පවත්වා ගැනීමට බැංකුව සමත් වී ඇති අතර, රු. බිලියන 83.5 ක් වන එහි තැන්පතු එකතුව 2019 වසරට සාපේක්ෂව 17% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි. බැංකුවේ ණය දීම්ද 2020 වසරේ 8% ක වර්ධනයක් පෙන්නුම් කරන අතර, එය එම වසරේ ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ වර්ධනයේ සාමාන්‍යය වන 6.5% ට වඩා ඉහළ අගයකි.

අමානා බැංකුව යනු ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින, පොලිය රහිත සහ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියට පූර්ණ වශයෙන් අනුගතව මෙහෙයුම් සිදුකිරීම සඳහා මෙරට තුළ බලපත්‍ර හිමි ප්‍රථම සහ එකම පෞද්ගලික බැංකුවයි. ‘සංවර්ධනයට අත්වැලක් සහ ඉසුරුමත් ජීවිතයක්’ ඉලක්ක කරගත් එම බැංකුව මේ වනවිට ක්‍රමයෙන් වර්ධනය වන ශාඛා හා ස්වයං බැංකුකරණ සේවා ජාලයක් ඔස්සේ ජනතාවට සේවය සලසන අතර එහි ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර 4500 කට අධික සංඛ්‍යාවක් සහ, ක්ෂණික තැන්පතු සඳහා Pay&Go යන්ත්‍ර 850 කට අධික සංඛ්‍යාවක් භාවිතා කිරීමට අවස්ථාව හිමි වී තිබේ. තවද අන්තර්ජාල හා ජංගම දුරකථන බැංකුකරණ පහසුකම්, පැය 24 පුරා ක්‍රියාත්මක මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර සහ කාන්තාවන් සඳහා වෙනම බැංකුකරණ ඒකක වැනි පහසුකම්ද පිරිනැමීමට අමානා බැංකුව මේ වනවිට පියවර ගෙන ඇත.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයාර්’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

Featured

Hajj 2025

අයදුම් කරන්න
Chat on WhatsApp