අමානා බැංකුව ආර්ථික අර්බුදය හමුවේ පවා තම වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින්, මෙම මූල්‍ය වර්ෂයේ මුල් මාස 6 ක කාලය තුළ රු. මිලියන 362.0 ක බදු-පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා කරගත් රු. මිලියන 289.3 ක බදු-පසු ලාභයට සාපේක්ෂව 25% ක වර්ධනයකි. බදු-පෙර ලාභය පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා කළ රු. මිලියන 505.7 ට සාපේක්ෂව 10% ක වර්ධනයක් පෙන්නුම් කරමින්, රු. මිලියන 556.9 ක් ලෙස වාර්තා වී ඇත.
ආර්ථික හා දේශපාලනික අස්ථාවරත්වයේ දැඩි බලපෑමට ලක් වූ මුල් මාස 6 තුළ බැංකුවේ මූල්‍ය සම්පාදන ආදායම රු. බිලියන 4.85 දක්වා, 35% කින් වර්ධනය විය. තැන්පතුවල ඉහළ පිරිවැය තුළ පිළිබිඹු වන ප්‍රතිපත්ති අනුපාත වෙනස්වීම් හේතුවෙන්, බැංකුවේ ශුද්ධ මූල්‍ය ආදායම රුපියල් බිලියන 2 සීමාව ඉක්මවා සුළු වශයෙන් වර්ධනය විය. තත්ත්වය මෙසේ වුවද, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම මෙන්ම ශුද්ධ වෙළඳ ආදායමේ සැලකිය යුතු වර්ධනයක් ඇතිවීම නිසා, සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 2.69 දක්වා 20% ක වර්ධනයක් වාර්තා කර තිබේ. වර්තමාන සහ අපේක්‍ෂිත වෙළඳපළ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, විචක්ෂණශීලී ලෙස ඉහළ අපහායනය මට්ටමක් වෙනුවෙන් අවශ්‍ය විධිවිධාන සැලසීමෙන් අනතුරුව, ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 2.19 දක්වා 11% කින් වර්ධනය වී ඇත.
2022 ජූනි මාසයේදී මතුපිට උද්ධමනය 58% ඉක්මවා ගියද, මෙහෙයුම් වියදම් වල වර්ධනය 12% මට්ටමේ පවත්වා ගැනීමට බැංකුවට හැකියාව ලැබිණි. මූල්‍ය සේවා මත පනවන ලද එකතු කළ අගය මත බද්ද (VAT) ට පෙර මෙහෙයුම් ලාභය 10% කින් වර්ධනය වී, රු. මිලියන 781.7 ක් ලෙස වාර්තා වේ. පළමු මාස හය සඳහා බැංකුවේ සමස්ත බදු දායකත්වය වන රු. මිලියන 419.7, සියලු බදු වලට පෙර බැංකුවේ මෙහෙයුම් ලාභයෙන් 54% කි.
ව්‍යාපාර ක්‍රියාකාරකම් ඒකාබද්ධ කිරීම සහ, දැඩි මූල්‍ය සහ වෙළඳපල ද්‍රවශීලතා තත්ත්වයන් නිසා පුද්ගලික අංශයේ ණය වර්ධනය පහත වැටීම හේතුවෙන් බැංකුවේ පාරිභෝගික අත්තිකාරම් 5% කින් වර්ධනය වී රුපියල් බිලියන 79.3 ක් ලෙස වාර්තා වන අතර, පාරිභෝගික තැන්පතු 8% කින් වර්ධනය වී රු. බිලියන 103.6 ක් ලෙස වාර්තා වේ. 2022 ප්‍රථම අර්ධය අවසානයේ, අභියෝගකාරී වෙළඳපොළ තත්ත්වයන් හමුවේ පවා, බැංකුවේ අක්‍රීය ණය හා අත්තිකාරම් (3 වන පෙළ) මට්ටම ක්ෂේත්‍රයේ සාමාන්‍ය මට්ටමට වඩා කැපීපෙනෙන ලෙස අඩුවෙන්, එනම් 2.5% මට්ටමේ පැවතිණි. ප්‍රථම මාස 6 තුළ බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය 14% කින් වර්ධනය වී, රු. බිලියන 139.3 ක් ලෙස වාර්තා වී තිබේ. බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය අදාළ කාලසීමාව තුළ 15.7% ක් වැනි යහපත් අගයක පවතින අතර, පළමු ස්ථරයේ ප්‍රාග්ධන අනුපාතය (Tier 1 Capital Ratio) 13.4% මට්ටමේ පවතී. මෙය අවම නියාමන අවශ්‍යතා මට්ටම් වන 12.5% සහ 8.5% ට පැහැදිලි ලෙසම ඉහළ අගයක් වේ.
“පළමු කාර්තුව තුළ ආර්ථික හා දේශපාලන අභියෝග හමුවේ ඉතා ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරගැනීමෙන් අනතුරුව අපගේ අවධානය යොමු වූයේ, දෙවැනි කාර්තුව තුළ පැවති තත්ත්වයන්ට සාර්ථක ලෙස මුහුණ දීම සම්බන්ධයෙනුයි. බාහිර වාතාවරණය තුළින් පැනනැගුණු පෙර නොවූ විරූ අභියෝග හමුවේ පවා, අපගේ ශක්තිමත් ක්‍රියාකාරීත්වය දෙවන කාර්තුව තුළදීත් පවත්වා ගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. නොයෙකුත් අවිනිශ්චිතතාවයන් කළමනාකරණය කිරීමේදී අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පෙන්නුම් කළ කැපවීම සහ අපගේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසය පිළිබඳව, බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරිත්වය වෙනුවෙන් මා ස්තූතිවන්ත වෙනවා. සාර්ව ආර්ථික අභියෝග සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශයන්ට අනුකූලව, පසුගිය මාස කිහිපය තුළ, බලපෑමට ලක් වූ තනි පුද්ගල සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් වෙනුවෙන් හඳුන්වා දී තිබූ තාවකාලික සහන තවදුරටත් දීර්ඝ කිරීමට අප කටයුතු කළා. එමෙන්ම මෑතකදී අප ශ්‍රී ලංකාවේ විශාලතම ලාභාංශ බෙදාහැරීම සිදුකළ බව කියන්නේ ඉමහත් සතුටින්. එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කෙරෙහි අවධානය යොමු කළ අපගේ ක්‍රමෝපාය මෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් වලට සහාය වෙමින් වෙළඳපොළ තුළ අප ගොඩනඟා ගෙන ඇති විශ්වාසය නැවත වරක් තහවුරු කරන සාධකයක්. සංවර්ධනය ඉලක්ක කරගත් අපගේ සුවිශේෂී ව්‍යාපාර ආකෘතිය නිසා, බැංකු ක්ෂේත්‍රයටම ගැටලුවක් වී තිබෙන ඇතැම් අභියෝග වලින් ආරක්ෂා වීමට අපට හැකි වී තිබෙනවා. මෙම අභියෝග ජයගැනීමට අපගේ රටට හැකියාව ඇති බව අපට විශ්වාසයි. එම උත්සාහය තුළදී වර්ධනයට අත්වැලක් වෙමින්, ජීවිත සරුසාර කිරීමට අර්ථවත් ලෙස දායක වීමට අප සූදානම්.” අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි 2021 සැප්තැම්බර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.